රොයිස් ප්‍රනාන්දු අත්අඩංගුවට ගනු ලැබීම දේශපාලන පලිගැනීමක්ද..?

0
82

මීගමුව මුදල් හුවමාරු කරන මධ්‍යස්ථානයකින් පසුගිය 17වැනි දා කෝටි එකහමාරක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන්, බස්නාහිර පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රීක්කයෙන් තරග කරන රොයිස් විජිත ප්‍රනාන්දු මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීම දේශපාලන පලිගැනීමක් විය හැකි බවට එක්සත් ජාතික පක්ෂය සැක පහල කරයි.

මීගමුව නගර සභාවේ විපක්ෂ නායක ද වන මොහු එක්සත් ජාතික පක්ෂයෙ මීගමුව ආසනයේ ප්‍රධාන සංවිධායක වේ.

එම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එජාපය අද දහවල් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.

එම නිවේදනය පහත දැක්වේ.

එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අපගේ බලවත් සැලකිල්ල යොමු වී තිබේ.

නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතු බවට නිරන්තරයෙන් හඩ නගන පක්ෂයක් ලෙසට, අපගේ අපේක්ෂකයාට එරෙහිව නගා ඇති චෝදනාවන් පිළිබද ගැඹුරින් හා බරපතල ලෙස සලකා බලන්නෙමු.

නමුත් අවාසනාවකට මෙන් පසුගිය කාලයේ දේශපාලන ප්‍රතිවාදීන් පෙළීම උදෙසා අපරාධ චෝදනා එල්ල කළ අවස්ථා ගණනාවක් විණි.

එහෙයින් නීතිය ක්‍රියාත්මක කරන අධිකාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම පරීක්ෂණය අපක්ෂපාතී හා විනිවිද පෙනෙන අයුරින් සහ දේශපාලන හා වෙනත් කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක කරන ලෙසය.

අපරාධකරුවන්ට රැකවරණ දෙන ආණ්ඩුවක් :

පාලක රෙජිමය විසින් අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ස්ත්‍රී දූෂකයන් සහ මිනීමරුවන් සිය ගණනකට රැකවරණය සැලසීම සාමාන්‍ය ජනතාවගේ බලවත් පිළිකුලට පාත්‍ර වී තිබේ.

ඇමතිවරුන්ගේ සිට පළාත් සභා මන්ත්‍රීන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දක්වා වූ අපරාධකරුවෝ ආණ්ඩුවේ රැකවරණයට මුවා වී නීතියෙන් ගැලවී සිටිති.

මේ නිසා නීති පද්ධතිය පිළිබදවත්, නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙකුම සමානය යන මූලික අයිතිය පිළිබදවත් විශ්වාසය බරපතල ලෙස නායා ගොස් හමාරය.

විපක්ෂයේ සාමාජිකයෙකු සම්බන්ධ මේ සා කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීහු ආණ්ඩුවට සම්බන්ධ කටයුතුවලදී ක්‍රියාත්මක වන්නේ ඉබි ගමනිනි.

අගමැතිතුමන්ද සම්බන්ධ කුඩු කන්ටේනරය පිළිබදව කිසිදු විමර්ෂණයක් සිදු වන බවක් පෙනෙන්නට නැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලන්සා මහතාගේ නිවෙස විශේෂ කාර්ය බලකාය විසින් සැක පිට වැටලූ අවස්ථාවේ, තත්ත්වය සමනය කරන්නට හෙලිකොප්ටරයකින් පැමිණියේ අන් කවුරුවන්වත් නොව රටේ ජනාධිපතිවරයාය.

ඒ සමගම ලන්සා ඇමතිට එරෙහි විමර්ෂණය යට ගියේය. අපරාධ සදහා සම්බන්ධ තම පාක්ෂිකයන් බේරා ගැනීම සදහා නීතිය කණපිට හැරවූ එවන් අවස්ථා ගණනාවක් නිසා නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙතරම් දේශපාලනීකරණය වී ඇතැදැයි සිතා ගත හැකිය.

ජනතාවට මුලා කරලීමට ඉඩ දිය නොහැක:

මේ අයුරින් ජනතාවට මුලා කරලීමට හෝ මූලික අයිතිවාසිම්වලට නිගා කරලීමට තවත් ඉඩ දිය නොහැකිය. එහෙයින් විකල්ප දේශපාලන නායකත්වයක් යටතේ සාධාරණ හා වගකීම් සහිත දේශපාලන සංස්කෘතියක් බිහිකරලීම උදෙසා ජනතාව දැනුවත් විය යුතු කාලය එළැඹ ඇති බව අපගේ විශ්වාසයයි.

අපක්ෂපාතී, විනිවිද පෙනෙන සුළු හා සාධාරණ නීතිමය ක්‍රියා පටිපාටියකින් අනතුරැව වරදකරුවන් බවට පත් වන කිසිදු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු වෙනුනේ පෙනී සිටීමට හෝ ඔවුන්ට එරෙහිව සිදු කෙරෙන නීතිමය ක්‍රියාදාමයන් අවුරාලීමට අප කිසි විටෙක කටයුතු නොකරන්නෙමු.
එසේම තනතුර ජනප්‍රියත්වය හෝ වෙනත් කිසිදු සාධකයක් පදනම් කර ගෙන අපරාධකරුවන්ට රැකවරණය ලබා දීමට අප ක්‍රියා කර නැති අතර, ඉදිරියටත් එසේ නොකරන්නෙමු.

නාලන්ද එල්ලවාල සිද්ධියේදී ද අප පක්ෂය එසේ ක්‍රියා කළ අතර, ඒ අපරාධකරුවන්ට රැකවරණය දුන්නේ කවුරුන්දැයි දැන් රටටම හෙළිවී හමාරය.
නීතියට පිටින් ක්‍රියා කරන කිසිවෙකුට එක්සත් ජාතික පක්ෂයේ දොර විවෘත නැත. යහපත්, ගුණගරුක හා නීතිය සුරකින සමාජයක් බිහි කරලීම සදහා එක්සත් ජාතික පක්ෂය හැම විටම කැපවී ක්‍රියා කරනු ඇත
roies 2