රෝහින්ග්‍යා සරණාගතයින්ට චීවරධාරීන් සිදුකළ පහරදීම මංගල සමරවිර හෙළාදකියි.

0
61

ගල්කිස්සේ චීවරධාරී රස්තියාදුකාරයන් ……….- මංගල සමරවීර_98016866_fullsizerender

ඊයේ ගල්කිස්සේදී එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ හිටපු රොහින්ග්‍යා මියන්මාර් සරණාගතයින් පිරිසකට චීවරධාරීන් පිරිසක් විසින් පහරදීම, මාධ්‍ය ඇමතිවරයා වශයෙන් පමණක් නොව, ශ්‍රී ලාංකීය බෞද්ධයෙක් හැටියටත්, මම තරයේ හෙළා දකිනවා. අපි කුඩා කාලේ ඉඳලම බෞද්ධයන් හැටියට අපිට උගන්වන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා කියන්න. කවදාවත් අපිට උගන්වලා නෑ සිංහල සත්වයන්ට නීරෝගී වෙත්වා කියන්නවත් බෞද්ධ සත්වයන්ට නීරෝගී වෙන්න කියන්නවත් නෙවෙයි. සියලු සත්සත්වයන් වෙනුවෙන් අනුකම්පාව තියන ආගමක් තමයි බෞද්ධාගම; ධර්මයක් තමයි බෞද්ධ ධර්මය. නමුත්, මේ සියල්ල කෙළෙසමින් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ පසුගිය මාස කිහිපය තුළ තාවකාලිකව ලංකාව තුළ රැඳී සිටින මේ අහිංසක සරණාගතයන්ට පහරදීම ඉතාමත්ම පහත් ක්‍රියාවක් හැටියට අපි හැමෝම දකින්න ඕනේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර නීතිවලට අනුකුලව යම් කෙනෙක් සරණාගතයෙක් හෝ සරණාගතයන් හැටියට රටට ඇතුළුවෙනවා නම් ඒ අය තාවකාලිකව රැකබලාගෙන ඒ අයට සුදුසු තැනක් ලැබුණාම එහි පදිංචි කිරීම සාමාන්‍ය සිරිතයි.

ඇත්ත වශයෙන්ම මෙය රොහින්ග්‍යා සරණාගතයින් ලංකාවට ආපු පළමු වතාව නෙමෙයි. 2008 මාර්තු මාසේ ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් මේ වගේම සරණාගතයින් පිරිසක් මුහුද මැද අසරණ වූ වෙලාවේ ඒ අයගේ ජිවිත බේරාගෙන, කාලයක් එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ ලංකාවේ මේ ආකාරයටම තියාගෙන, පසුව, 2012 වෙන කොට ඒ අය ඇමරිකා එක්සත් ජනපදයේ සරණාගතයින් හැටියට පිළිගත්තයින් පස්සේ ඒ රටවල්වල පදිංචියට ගියා. ඒවගේම 2013 පෙබරවාරි මාසෙත් මේ ආකාරයටම මියන්මාරයේ සිට පැමිණි සරණාගතයින් 32 ක් සහ 138 කට ශ්‍රී ලංකාව තුළ රැකවරණය දුන්නා. ඒ අයටත් 2014 හා 2015 වර්ෂ තුළ ඇමරිකාව හා කැනඩාව යන රටවලට යන්න හැකියාවක් ලැබුණා. මෙන්න මේ විදිහට තමයි මේ සරණාගතයිනුත් පසුගිය අප්‍රේල් මාසේ 30 වෙනිදා මිරිහාන මධ්‍යස්ථානයට ගෙනල්ලා ඒ අයවත් වෙනත් රටවල්වලට යැවීම සඳහා කටයුතු කරගෙන යන මොහොතක තමයි මේ චීවරධාරී රස්තියාදුකාරයන් ඇවිල්ලා මුළු බෞද්ධාගමටම ජාත්‍යන්තරව කරන්න පුළුවන් විශාලතම පහරදීම ඇති කරේ. ලෝකයේ තිබෙන ඉතාමත්ම නිහතමානී අහිංසක ආගමක් ධර්මයක් හැටියට සලකන බෞද්ධයින් ම්ලේච්ඡ මිනීමරුවන්, ම්ලේච්ඡ රස්තියාදුකාරයන් හැටියට, අද රුපවහිනිවල වෙබ්සයිට්වල දැකගන්න පුළුවන් වීම මුළු බෞද්ධාගමටම නිග්‍රහයක්.

අපි හැමදෙනාම මේකට විරුද්ධ වෙන්න ඕන. විරුද්ධ වෙනවා විතරක් නෙමෙයි මේ එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ සිටින මේ සරණාගතයින්ට පහරදීපු අයට නීතියත් වහාම ක්‍රියාත්මක කරන්න කියල මම ඉල්ලා සිටිනවා.
– මංගල සමරවීර