“ලතා මංගේෂ්කාර්ගේ අවසන් සම්මුඛ සාකච්ඡාව”

0
330

“ක්ෂණික වින්දනයක් ලබන මේ යුගයේ අනාගත පරම්පරාවට මගේ උරුමය වැදගත් වෙයිද කියලා මට සැකයි” ඇය මේ බව කියා තිබුණේ සුභාෂ් කේ ජා සමඟ පැවැත්වූ සිය අවසාන සම්මුඛ සාකච්ඡාවේදී. මේ එහි සංස්කරණයක සංක්ෂිප්ත පරිවර්තනයක්.

මම හිතනවා ඔබ හොඳ සෞඛ්‍ය තත්වයක සිටින බව?

මගේ වයසත් එක්ක බැලුවම මට හිතෙනවා මම හොඳට ඉන්නවා කියලා. ඇත්ත වශයෙන්ම ලෙඩ තිබෙනවා. ශරීරය දුර්වලයි. නමුත් වාසනාවකට මෙන් මනස තවමත් නොනැසී තියෙනවා. මගේ වයසේ බොහෝ අය දැන් නැහැ. නැත්නම් ඉන්නේ රෝද පුටුවේ.

ඒ ඔබ නැති ලෝකයක් සිතාගන්න බැරි නිසාද?

කවුරුන් හෝ සිටිය යුතුම නැහැ. විද්‍යාඥයින්, ආගමික සහ දේශපාලන නායකයින්, වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් වගේ මට වඩා බොහෝ දක්‍ෂතා ඇති බොහෝ ප්‍රවීණයන් පැමිණ සිටිනවා. ලෝකය ජීවත් වෙනවා.

එහෙත් ඔබේ උරුමය කිසිදා මිය යන්නේ නැහැ. ඔබේ ගීත වසර සියයකට පසුවත් ඇසෙනු ඇති?

මට ඒ ගැන වැඩි විශ්වාසයක් නැහැ. වර්තමානයේ තරුණ තරුණියන්ගේ අවධානය ඉතා සීමා සහිතයි. ඔවුන් කිසිසේත් අතීතයේ ජීවත් වෙන්නේ නැහැ. මේ ක්ෂණික තෘප්තියේ යුගයයි. හැමෝම කැමති මේ මොහොතේ ජීවත් වෙන්න.

සංගීත ලෝකයේ ඔබේ සමීප මිතුරන් සහ සමකාලීනයන් සියල්ලෝම සමුගෙන?

ඇත්තටම මට ඔවුන් අහිමි වෙලාද? ඇත්තෙන්ම ඔව්. Mohomed Rafi, Kishore Kumar, Mukesh bhaiya සහ Manna Dey වැනි මගේ සගයන් මගේ ජීවිතයේ නිරන්තර කොටසක් වුණා. දිනපතා පටිගත කිරීම්වලදී මම ඔවුන් වෙත දිව ගියා. සබඳතා කියන්නේ රැකියාවම නොවෙයි. බොහෝ දෙනා එකට හමුවුණා. ඒ වගේම මම ඔවුන් බලන්න ගියා. ඔවුන් මා බලන්න ආවා. ඒත් අද කාලේ මිනිස්සු මුණ ගැහෙන්නේ වීඩියෝ කෝල්වලින්.

ඔබේ ප්‍රියතම ගීත රචකයින් කවුද?

එය භයානක ප්‍රශ්නයක්. නම් අමතක වුණොත් මට කරදරයක් (සිනාසෙයි). නමුත් මම ඇත්තටම ශංකර්-ජයිකිෂන්, සලිල් චෞද්‍රි, එස්ඩී බර්මන්, ආර්ඩී බර්මන්, ලක්ෂ්මිකාන්ත්-ප්‍යාරේලාල්, චිත්‍රගුප්ත සහ මගේ සොහොයුරා හෘදයනාත් මංගේෂ්කාර්ගේ ගීත ගායනා කිරීමට ප්‍රිය කළා. මා සමඟ වැඩ කළ අනෙකුත් ගීත රචකයින් ද ඒ හා සමානව වැදගත්. සෑම නිර්මාපකයෙකුටම සහ ගී පද රචකයෙකුටම මම ස්තූතිවන්ත වෙනවා. මම මේ කියන්නේ මගේ හදවත පත්ලෙන්.

ඔබේ ගීත ජනප්‍රියයි. බොහෝ ප්‍රසිද්ධයි. ඒ වගේම ඔබ කැමති නමුත් පිළිගැනීමක් නොලැබුණු ගීතත් තියෙනවද?

පිළිගැනීම ගැන මම දන්නේ නැහැ. නමුත් මගේ ප්‍රියතම ගීත, වඩාත් ජනප්‍රිය වූ ගීත නොවෙයි. මායා මෙම්සාබ් චිත්‍රපටයට මගේ සහෝදර හෘදයානාත් විසින් රචනා කරන ලද ගීතවලට මම කැමතියි. ලක්ෂ්මිකාන්ත්-ප්යාරේලාල්ගේ රචනා කළ, ‘යේ රාත් භි ජා රාහි හේ.’ ගීතය ඊට උදාහරණ.

ඔබේ නිකුත් නොකෙරුනු ගීත ගැන ඔබ කනගාටු වෙනවාද?

කවදාවත් පසුතැවෙන්න වෙලාවක් තිබුණේ නැහැ. අපි එක පටිගත කිරීමකින් තවත් පටිගත කිරීමකට ගියා. මගේ ගීත පටිගත කළ පසු මම ඒවා අසා නැහැ. ඒ නිසා මට භාවිත කළ, නොකළ දේ දැනගන්න විදිහක් තිබුණේ නැහැ. ඒ දවස්වල ගීතයක් චිත්‍රපටියට ආවේ නැත්නම් ඒකට ලැබිය යුතු පිළිගැනීම ලැබුණේ නැහැ. මට මතකයි මිලාන් චිත්‍රපටයේ ලක්ෂ්මිකාන්ත් – ප්‍යාරේලාල් රචනා කළ Aaj Dil Pe Koi Zor Chalta Nahin ගීතය ඉවත් කෙරුණා. එය මගේ වඩාත්ම ප්‍රියතම ගීතයක්.

වයස 92 දී ඔබට තරුණ බව මග හැරෙනවාද?

මම ඔබට ඇත්ත කියන්නද? මට මගේ වයස කිසිසේත් දැනෙන්නේ නැහැ. මට තවමත් තරුණ බවක් දැනෙනවා. මම කවදාවත් මගේ ප්‍රශ්නවලින් බර වෙලා නැහැ.

මම තරුණ වියේදී සහ අරගල කරන විට පවා, මම චිත්‍රාගාරයෙන් චිත්‍රාගාරයට පනිමින් කිෂෝරදා සහ මුකේෂ් වැනි අනෙකුත් අරගලකරුවන් සමඟ ගැටීමෙන් සතුටට පත්වුණා. මුළු දවසම බඩගින්නේ සිටීමට සිදුවුණත් ඒක විනෝදජනක කාලයක්. මගේ පර්ස් එකේ සල්ලි තිබුණේ නැහැ. ඒත් මගේ හිතේ තිබ්බේ බලාපොරොත්තුවක් විතරයි. අනාගතය කොතරම් දුෂ්කර වුවත්, යහපත් හෙට දවසක් ගැන බලාපොරොත්තුවක් තිබුණා.

වරක් උණුසුම් දිනක පටිගත කිරීමේදී ක්ලාන්ත වූවා නොවේද?

සලිල්දා (චෞද්‍රි) සමඟ ගීතයක් පටිගත කිරීමේදී මා ක්ලාන්ත වූ බව වසර ගණනාවක් තිස්සේ වැරදි ලෙස කියවෙනවා. ඇත්ත වශයෙන්ම, ඔහුගේ ගීත ඉතා සංකීර්ණයි. මගේ සහෝදර හෘදයානාත් මංගේෂ්කාර් විසින් රචනා කරන ලද ඒවාත් එසේමයි. නමුත් මගේ පියාගේ ආශිර්වාදය නිසා මම පටිගත කිරීමේ මැදිරියේ ඕනෑම අභියෝගයකට මුහුණ දුන්නා. ක්ලාන්ත වෙච්ච සිද්ධිය වුණේ නවුෂාඩ් සාබ් සමඟ වැඩකදි. අපි දිගු උණුසුම් කාලයක සවස් වරුවේ ගීතයක් පටිගත කරමින් සිටියා. ඒ දවස්වල රෙකෝඩින් ස්ටූඩියෝවල වායු සමීකරණ තිබුණේ නැහැ. අවසාන පටිගත කිරීමේදී සිවිලිමේ විදුලි පංකාව පවා ක්‍රියා විරහිතව තිබුණා. ඉතින් මම ක්ලාන්ත වුණා.

පටිගත කිරීම් අතරතුර කිසියම් විශේෂ සිදුවීම් ඔබට මතකද?

ඇත්තෙන්ම විනෝදජනක අවස්ථා කිහිපයක් තිබුණා. මේක උමා දේවි සමඟ යුගල ගීයක් පටිගත කරමින් සිටියදි සිදුවූවක්. ඔන්න ඉතින් අපි දෙන්නා එකම මයික් එකට සින්දු කියනවා. මම සිරුරින් ටිකක් දුර්වල කෙනෙක් වුණත් ඇය ශාරීරික වශයෙන් තරමක් බලවත් කෙනෙක්. මට මයික් එක ළඟට හිටගන්න ස්ටූල් එකක් දුන්නා. උමා දේවී මයික් එකට ගායනා කිරීමට ඉදිරියට ගොස් මගේ උරහිස සොලවන විට මම බිම ඇද වැටුණා. (තදින් සිනාසෙයි)

ඔබ “හීර් රන්ජා” හි මදන් මෝහන්ගේ ‘හීර්’ සහ “ඉෂ්ක් පාර් සෝර් නාහින්” හි එස්ඩී බර්මන්ගේ ‘තුම් මුජ්සේ දුර් චලේ ජනා නා’ යන ගීත පටිගත කරන විට මුළු සභාවම හැඬු බව පැවසෙනවා?

ඒක ඇත්ත. මා හැර අන් සියල්ලෝම අඬමින් සිටියා. මම කවදාවත් අමිහිරි ගීත ගායනා කරන විට පවා හඬා වැලපෙන්නෙකු වී නැහැ. මම කවදත් කඳුළුවලට වඩා සිනහවට කැමැතියි. දෙවියන් වහන්සේ සැමවිටම කරුණාවන්තයි. මට කවදාවත් කඳුළු සලන්න හේතුවක් දීලා නැහැ. මම හිතන්නේ මම වැඩිපුරම ඇඬුවේ මගේ තාත්තයි අම්මයි නැති වුණාමයි.

ඔබගේ ඉටු නොවූ සිහින තිබේද?

මට මගේ ජීවිත කාලය තුළ මේ ලෝකය COVID වලින් නිදහස් වී තිබීම දැකීමට අවශ්‍යයි.

අන්තර් ජාලයෙනි.
|මහින්ද රුබසිංහ