ලිප ගිනි වෙනුවට සෝ ගිනි අවුලන ගෑස් …

0
48

ගෑස් පටවා ගත් ලොරියක් කඩයක් අසල නතරවිය. ඒ මොහොතේදීම මෙම ස්ථානයට එක් රොක් වුනු විශාල සෙනඟ
පෝලිමක් නිර්මාණය කරන ලදී. කෙටි කාලයක් තුළ මෙම පෝලිමට එකතුවන පිරිස බලාපොරොත්තු දල්වාගෙන සිටින්නේ කෙසේ හෝ ගෑස් ටැංකියක් රැගෙන යාමේ අභිලාෂයෙනි. මේ දැක්වූයේ චිත්‍රපටියක හෝ නාටකයක අවස්ථා නොව සැබෑ මිනිස් ජීවිත වලට මුහුණ දීමට සිදුවී ඇති තත්ත්වයයි.

මේ දිනවල මෙම නිල්පාට ටැංකිය ලිපගිනි වෙනුවට ජනතාව තුළ සෝගින්දර අවුලවා ඇත . රටපුරා තැනින් තැන මතුවන ගෑස් පුපුරා යාම ආදී සිදුවීම් විසින් සමාජය ඉදිරියට යොමුකර ඇත්තේ බරපතල ඛේදනීය තත්ත්වයකි.
මීගමුව , දළුපත , ප්‍රදේශයේ විටින් විට නිල්පැහැති ගෑස් ටැංකි රැගෙන යන ලොරි රථ ගමන් කරන දිසාවන් බලා හිස්ටැංකි රැගෙන ඒ පසුපස දිවයන ආකාරය අනුව මිනිස්සු කොතරම් අසරණ වී ඇත්දැයි පැහැදිළිය.
එසේ තිබියදී තමන්ට ලැබෙන ගෑස් ටැංකි අයතාලෙස මුදල් හම්බ කිරීමේ ජාවාරමක් බවට පත්කර ගත් ගෑස් බෙදාහරින අය ගැනද තොරතුරු ලැබී ඇත.
එවැනි ස්ථානයක් ලෙස මීගමුව ,අංක 19, පිංකොවත්ත, පරාක්‍රමපාරේ ,”කාන්ති” යන නමින් හඳුන්වන ගෑස් බෙදාහරින ස්ථානයක එවැනි ජාවාරමක් ගැන තොරතුරු ලබාගැනීමට ගිය මාධ්‍යවේදියෙකුට මෙහි අයිතිකරු විසින් තර්ජනය කර ඇත .
ටැංකි ,ඉතා සුළු ප්‍රමාණයක් අදාල ස්ථාන වලට බෙදාහරින නිසා තමන්ට ඉල්ලුම අනුව සැපයීමේ හැකියාවක් නැතැයි බෙදාහරින අය පවසති . එකී තත්ත්වය නිසාම මිනිස්සු ආවේගකාරීව හැසිරීම සාමාන්‍ය තත්ත්වයක් බව කිවයුතුය .
මේ අනුව වගකිවයුත්තන්ගේ නොහැකියාව තමන්ගේ පටු අවශ්‍යතාවය ඉටුකර ගැනීමට යොදා නොගන්නා ලෙස අපි කූට ජාවාරම් කරුවන්ට අවධාරණය කරන්නෙමු.
සැම්සන් ඥානසිරි