ලොකු ඇත්තන්ට නිධානයක් වී ඇති කුඩා ගඟේ වැලි හෑරිල්ල.

0
95

IMG-20191022-WA0032
මීගමුව කලපුවේ වැලි හෑරීම නිතර අපිට දකින්න තිබෙන දර්ශනයකි . විශාල බැකෝ යන්ත්‍ර මගින් කරන මෙම වැලි හෑරීම කලපුව සංවර්ධනය සඳහා බවයි ප්‍රකාශිත අදහස වී ඇත්තේ . නමුත් ධීවර නායකයින් කිහිප දෙනෙකු අප සමඟ අදහස් ප්‍රකාශකළේ මෙය අපරාධයක් වන බවයි .
එසේම ධීවර ජනතාවගෙන් විශාල පිරිසක් මේ සම්බන්ධව අකමැති බව ප්‍රකාශ කර ඇත. ඔවුන්ගේ සංවිධාන රැස්වීම් වලදීද කලපුව හෑරීමේ ප්‍රමිතියක් නැති බව පෙන්වා දී ඇත .

මෑතකදී කලපුවේ හොඳම පරිසර පද්ධතියක් වූ කුඩා ගඟ හෑරීම ආරම්භ කර ඇත . මෙම ස්ථානය පාරම්පරික ධීවර ප්‍රජාව සඳහා ඔවුන්ගේ දෛනික ජීවිතයට ඉමහත් පිටුවහලක් වූ ස්ථනයක් බව ඔවුන් පෙන්වා දෙයි .
විසිදැල් වලින් , මස්අතු වලින් ,බිලී බෑමෙන් මාළු අල්ලන ලද කලපු ධීවරයාට අද එවැන්නක් සඳහා ඉඩකඩ නැත .අතීතයේ සිට විවිධ වර්ගයේ මාළු , ඉස්සන් , කකුළුවන් බෝවීමට මෙහි කඩොලාන පරිසරය කදිම තෝතැන්නක්වී ඇත . නමුත් මෙම වැලි හෑරීමෙන් එම පරිසරය විනාශ වන බව ධීවරයින් සහ ධීවර නායකයින් ඒ ගැන අදහස් දක්වමින් පැහැදිලි කරති .
කලපුව විවිධ ආකාරයෙන් අපද්‍රව්‍ය දමා විනාශ කරන බව කව්රුත් දන්නා කරුණකි . ඒනිසා එම අපද්‍රව්‍ය ඉවත්කර කලපුව පිරිසිදු කිරීම ගැන කිසිදු ගැටළුවක් නැත . නමුත් ප්‍රශ්ණය වන්නේ කලපුව හාරන මෙකී හෑරිල්ල ගැන නිසි පිළිතුරක් දීමට රජයේ ආයතන අසමත් වීමයි. එය කලපුව සංවර්ධනයට මුවාවී කරන විනාශයක් බවයි බහුතරයේ අදහස වී ඇත්තේ .
මේ අනුව කලපුව අවට ජීවත්වන සමාජ ක්‍රියාකාරිකයෙකු වන ටයිටස් මහතා ප්‍රකාශ කරන ප්‍රමුක අදහස වන්නේ මේනිසා කලපුවට හානියක් සිදුවන බවයි. එසේම එක්සත් ධීවර සමීතියේ අරුන රොෂාන් මහතාද ප්‍රකාශකළේ මෙය ජාවාරමක් ලෙස පවත්වාගෙන යන්නක් බවය.