ලෝක කිතු දන පුබුදු ව්‍යාපාරය උපත ලබා මේ වසරේ අඩ සියවසක් සපිරේ!

0
300
A rainbow is seen as Pope Francis attends a meeting with Catholic charismatics in St. Peter's Square at the Vatican July 3. (CNS photo/Paul Haring) See POPE-CHARISMATICS July 6, 2015.

 

2015 ජූලි මාසයේ සුදොතුම් පියතුමා ගේ ප්‍රධානත්වයෙන් ලෝක පුබුදු සාමාජිකයන් වතිකානට එක් වූ දා එම අහසේ දේදුන්නක් දිස්විය

(2017 මැයි 2)
ලෝක කිතු දන පුබුදු ව්‍යාපාරය උපත ලබා මේ වසරේ අඩ  සියවසක් සපිරේ.

මේ නිමිත්තෙන් මේ වසරේ ශුද්ධාත්ම මංගල්‍ය දිනට සමගාමීව කිතුදන ව්‍යාපාරයේ 50 වැනි සංවත්සරය පැවැත්වීමට වතිකානය විධි විධාන යොදා තිබේ.

මේ  මංගල්‍ය දිනය අති  විශේෂ අවස්ථාවක් වනු ඇත. මන්ද වතිකානයේ පැවත්වෙන මෙම මංගල්‍යයට සහභාගී වන ලෙස ලොව පුරා කිතු දන ව්‍යාපාර සාමාජිකයනට අමතරව පෙන්තකොස්ත සහ ඉවැන්ජලිකල් කිතුණු නියෝජිතයනට ද සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ආරාධනා කර තිබීමයි. මේ අනුව එතුමන් ගේ ආරාධනය යටතේ ශුද්ධාත්ම මංගල්‍ය දිනයේ කතෝලික, පෙන්තකොස්ත සහ ඉවැන්ජලිකල් කිතුනුවෝ ප්‍රථම වරට ශු. පේදුරු අපෝස්තුළු තුමන් ශුද්ධාත්ම බලයෙන් සිය දූත මෙහෙවර සිදුකල ස්ථානයේ සිට ශුද්ධාත්ම වරම් ඉල්ලා යදිනු ඇත.

මෙම උත්සවය මැයි මස 31 වන දින සිට ජුනි 3 දක්වා පැවැත්වෙයි.

ජාත්‍යන්තර කිතු දන පුබුදු ව්‍යාපාරය (International Catholic Charismatic Renewal Service)  ආරම්භ  වූයේ 1967 දී පිට්ස්බර්ග් හි ඩකන්ස් විශ්ව විද්‍යාලයේ දීය. එහි පැවැත්වුණු ධර්ම විවේකයක ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපාරය උපත ලැබීය.මේ වන විට පුබුදුව රටවල් 200ක පැතිර තිබේ.  එහි 50 වැනි සංවත්සරය සැමරීම සඳහා 2017 දී  වතිකානයට පැමිණෙන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2014 දී පුබුදුවට හා පෙන්තකොස්ත කිතුනුවනට ආරාධනා කර තිබුනේ ය.

“කිතුනු කණ්ඩායම් හැකි තරම් ඇතුලත්වන අයුරින් මේ ජුබිලිය සැලසුම් කරන්නැයි සුදොතුම් පියතුමා අපෙන් ඉල්ලා සිටියා” යෝ ජගත් කතෝලික කිතු දන පුබුදු සේවාවේ සභාපති මිචෙල් මොරන් National Catholic Reporter පුවත්පතට පැවසුවේය. විශේෂයෙන් ම ශුද්ධාත්මයානන් තුළ බෞතීස්ම ස්නාපනය කෙරෙහි අවධාරණය කරන කණ්ඩායම් ඊට ඇතුලත් කරගන්නා ලෙස එතුමා උපදෙස් දී තිබිණි.

ශුද්ධාත්ම මංගල්‍ය සුදානම හා 50 වැනි සංවත්සර වැඩසටහන් ආරම්භ වන්නේ යැදුම් කණ්ඩායම්, යොවුන් රැලි, වැඩමුළු සහ දේවධර්මවේදීන් සඳහා රැස්වීම් වලිනි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජුනි 3 වැනිදා සන්ධ්‍යාවේ සර්ව රාත්‍රික යාච්ඥා මෙහෙයක් මෙහෙවයි. එය පැවැත්වෙන්නේ රෝමයේ සුවිසල්  “සර්කුස් මක්සිමුස්”
(Circus Maximus) පිටියේ ය. (සර්කුස් මක්සිමුස් යනු රෝම අධිරාජ්‍ය සමයේ අශ්ව කරත්ත තරග පැවැත්වුණු භුමි ප්‍රදේශයයි.)

මෙම ජුබිලියට සහභාගී වන සියලු වන්දනාකරුවෝ  ජුනි 4 වැනිදා උදෑසන සුදොතුම් පියතුමා ගේ ප්‍රධානත්වයෙන් ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වෙන ශුද්ධාත්ම මංගල්‍ය දිව්‍ය පූජාවට සහභාගී වෙති.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කිතු දන පුබුදුවට එතරම් කැමැත්තක් දැක්වූ කෙනෙකු නොවේ. ඔවුන් යාච්ඥා කරන ආකාරය තමන්ට එතරම් රුචි නොවන බව 2014 දී පුබුදු සහ පෙන්තකොස්ත සාමාජිකයන් ගේ හමුවක දී එතුමා පවසා තිබිණි.

“බුවනෝස් අයරේස් පදවිය තුළ කිතු දන පුබුදුව ආරම්භ වූ මුල් කාලයේ මම ඔවුන්ට එතරම් කැමති වුනේ නැහැ. මම ඒ අය ගැන කතා කරද්දී කිව්වේ ඒ අය හරියට ‘සම්බා නැටුම් පාසලක්’ වගේ කියලයි” යයි එතුමා සඳහන් කලේ ය. (සම්බා යනු බ්‍රසීලයේ පවතින බයිලා වැනි නැටුම් ක්‍රමයකි).

කෙසේ නමුත් එම රැස්වීම අවසානයේ පුබුදු සහ පෙන්තකොස්ත සාමාජිකයන්  එතුමන් මත දෑත් විදහා යාච්ඥා කරන විට එතුමා වේදිකාව මත සිටි තැනම දන ගසා එම ආශීර්වාද පිළිගත්තේ ය.

“කතෝලික, ඕතඩොක්ස් සහ ප්‍රොතෙස්තන්ත සභා විශ්වාසිකයන් එක්ව යාච්ඥා කල යුතුයි; අතිනත් බැඳගෙන වැඩ කලයුතුයි; විශේෂයෙන් එක්සත්ව දුප්පතුන් වෙනුවෙන් සේවය කල යුතුයි” යයි 2015 ජූලි මාසයේ වතිකානයේ පවතී කිතු දන පුබුදු රැලියේ දී සුදොතු පියතුමා කීවේය.

“යක්ෂයා අප මරණයේ දී එක්සත් කරයි නම්, ජීවිතයේ දී අප අතරම බෙදී සිටින්නට අපි කවුරුන් ද?” එදින එතුමා විමසුවේය.

එදින ඔවුන් එක්ව යාච්ඥා කරද්දී වතිකානය ඉහල අහසේ ඉතා පැහැදිලි වර්ණවත් දේදුන්නක් පායා තිබුනේ ය.
http://www.vathikanasulaga.com

Save