වකුගඩුවක නියම මිල?

0
672

 

 

 

ශ්‍රී ලංකාව විදේශිකයින්ට වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් කිරීම අත්හිටුවා ඇති බව ඊයේ විදෙස් මාධ්‍ය රැසක්ම වාර්තා කර තිබුණේය. මේ තහනමට හේතුව දින කිහිපයකට පෙර රසිකගේ හා පැරාගේ බ්ලොග් වල වකුගඩු සැත්කම් ගැන පලවී තිබූ ලිපි විය නොහැක. ඔවුන් වකුගඩු බද්ධ කිරීම පිළිබඳව අදහස් පළ කර තිබුණත් ඉහත ආකාරයේ ඉල්ලීමක් කර තිබුණේ හෝ අඩු වශයෙන් අවයව වෙළඳාම ගැන කතා කර තිබුණේ හෝ නැත. තහනමට හේතු වී ඇත්තේ ලංකාවේ සහ ඉන්දියාවේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සහ ලංකාවේ රෝහලක් හෝ රෝහල් කිහිපයක් සම්බන්ධ වී සිදු කළේයැයි කියන ‘වකුගඩු ජාවාරමකි’.

මෙහි වකුගඩු ජාවාරමක් ලෙස හැඳින්වෙන්නේ මුදලට තමන්ගේ වකුගඩුවක් විකිණීමට කැමති කෙනෙකු විසින් මුදල් ගෙවා වකුගඩුවක් විකිණීමට කැමති කෙනෙකුට අතරමැදියෙකු හෝ අතරමැදියන් කිහිපදෙනෙකු හරහා සිය වකුගඩුවක් විකිණීමයි. ලංකාවේ මෙන්ම ඉන්දියාවේත්, තවත් රටවල් බොහොමයකත් පවතින නීතිය අනුව, ජීවත්ව සිටින කෙනෙකුගේ ශරීර අවයවයක් වෙනත් අයෙකුට පරිත්‍යාග කිරීමට ඉඩකඩ ඇතත් එවැන්නක් මුදලට විකිණීම තහනම් කටයුත්තකි.

ලෝකයේ බොහොමයක් රටවල වකුගඩුවක් බද්ධ කළ යුතු තත්ත්වයේ රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටිති. මේ නිසා, වකුගඩු වලට ලොවපුරාම විශාල ඉල්ලුමක් පවතී. අවයව වෙළඳාම නීති විරෝධී කටයුත්තක් වන රටවල මේ ඉල්ලුම සැපිරෙන ක්‍රමදෙකක් තිබේ. පළමුවැන්න මිය ගිය පුද්ගලයෙකුගේ හොඳ තත්ත්වයේ ඇති වකුගඩුවක් බද්ධ කිරීමයි. දෙවැන්න, ජීවත්වන පුද්ගලයෙකු විසින් පරිත්‍යාග කරනු ලබන වකුගඩුවක් බද්ධ කිරීමයි. කෙසේවුවද, මේ ක්‍රම දෙකෙන්ම සැපිරෙන්නේ වකුගඩු අවශ්‍යතාවයෙන් කොටසක් පමණි. ඒ නිසා, බොහෝ රටවල වකුගඩු වෙනුවෙන් විශාල නොසන්සිඳුණු ඉල්ලුමක්ද පවතී.

2014 වසර තුළ, ඇමරිකාවේ පමණක් වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 17,107ක් සිදු කරනු ලැබීය. මේ ප්‍රමාණයෙන් 11,570ක්ම මියගිය අයගේ වකුගඩු වූ අතර ඉතිරිය ජීවත්වන්නන් විසින් පරිත්‍යාග කරනු ලැබූ වකුගඩුය. එහෙත්, වසරක් තුළ වකුගඩු සැත්කම් අවශ්‍ය පිරිස මීට වඩා බොහෝ වැඩිය. ඔවුන්ට සිදුවන්නේ වකුගඩුවක් ලැබෙන තුරු පොරොත්තු ලේඛණගතව බලා සිටීමටය. පසුගිය සතිය මුලදී මේ පොරොත්තු ලේඛණයේ වකුගඩු අපේක්ෂාවෙන් සිටි පිරිස 100,791කි. මේ පොරොත්තු ලේඛණයට සෑම විනාඩි 14කටම වරක් අළුතින් රෝගියෙකු එකතු වේ. එමෙන්ම, සෑම දිනකම පොරොත්තු ලේඛණයේ සිටින රෝගීන් 13 දෙනෙකු බද්ධ කිරීමට වකුගඩු නොමැති නිසා මියයති. තවත් 9 දෙනෙකු වකුගඩු බද්ධයකට නුසුදුසු තරමට රෝගී වීම නිසා පොරොත්තු ලේඛණයෙන් ඉවත් කරනු ලබති.

ආර්ථික විද්‍යා මුලධර්ම අනුව ඉල්ලුම හා සැපයුම අතර නොගැලපීමක් ඇත්නම් එහි නිදහස් ගණුදෙණු වලට යම් බාධාවක් පැවතිය යුතුය. මෙහි ඇති බාධාව මිල පාලනයයි. යමෙකු කැමති වුවත් සිය වකුගඩුවක් මුදලට අලෙවි කිරීමේ අවස්ථාව සාමාන්‍යයෙන් නිදහස් වෙළඳපොළ මූලධර්ම අනුගමනය කරන ඇමරිකාවේද නැත. මේ නිසා, මේ හා අදාළව ඇමරිකාවේත් පෝලිම් තිබේ.

ඉහත ආකාරයේ වෙළඳපොළ අවහිරතාවක් ඇති විට සිදුවිය හැකි එක් දෙයක් වන්නේ නීති විරෝධී වෙළඳපොළක මේ ඉල්ලුම හා සැපයුම සමතුලිතවීමයි. නීතිය සාපේක්ෂව ඉහළින් ක්‍රියාත්මක වන ඇමරිකාව තුළ ‘අත යටින්’ වකුගඩු විකිණීම අසීරු කාර්යයකි. එහෙත්, ලංකාව හා ඉන්දියාව ඇතුළු බොහෝ රටවල මෙය සිදුවේ. මෙහිදී, වකුගඩුදායකයා ඉදිරිපත්වන්නේ සිය වකුගඩුව නොමිලේ පරිත්‍යාගකරන්නෙකු ලෙසිනි. මුදල අතයටින් හුවමාරු වේ.

මෙවැනි අතයටින් සිදුවන ජාවාරමකදී ගණුදෙණුවට සම්බන්ධ වන පාර්ශ්ව වලට කිසිදු නීතිමය රැකවරණයක් නැත. වකුගඩුව ලබාදෙන බව පවසා මුදල් ගෙන පසුව එය ප්‍රතික්ෂේප කිරීම මෙන්ම වකුගඩුව ලබාගෙන පොරොන්දු වූ මුදල ලබා නොදී සිටීමද විය හැකි දේවල්ය. අවස්ථා කිහිපයකදී හෝ සිදුවී ඇති බව වාර්තා වී ඇති දේවල්ය. එමෙන්ම, නීති විරෝධී තත්ත්වය යටතේ මෙවැනි මුදල් හුවමාරුවක් සිදුවන විට වකුගඩු දායකයා අතට මුදලක් ලැබෙන්නේ අතරමැදි ජාවාරම්කරුවන් රැසකගේ ගාස්තු අඩුවීමෙන් පසුවය.

මුදල් ලබාගෙන හෝ නොගෙන වකුගඩුවක් පරිත්‍යාග කිරීම විශාල ධෛර්යයක් අවශ්‍ය කටයුත්තකි. තමන්ගේ සමීපතමයෙකු වෙනුවෙන් මෙවැනි පරිත්‍යාගයක් කිරීමට පසුබටවන්නෙකු මුදල් පිණිස එවැන්නක් කිරීමට ලොකු ඉඩකඩක් ඇතැයි මම නොසිතමි. කෙසේවුවද, නීතිවිරෝධී තත්ත්වයක් යටතේ වුවත් මුදල් පිණිස වකුගඩු ලබාදෙන්නෝ සිටිති. එසේ කරන්නේ, කවර පදනමකින් හෝ, ලැබෙන මුදල නිසා එවැන්නෙකු ලබන සතුට වකුගඩුව අහිමිවීමේ අවාසියට වඩා වැඩි නිසාය. අනෙක් අතට, අතේ මුදල් ඇති, වකුගඩුවක් අවශ්‍ය අයෙකු එවැන්නක් ලබා ගැනීමට විශාල මුදලක් ගෙවීමට සූදානම් වීම තේරුම් ගත හැකි කරුණකි. අවයව ජාවාරමට නීතිමය බාධා පැනවූ විට සිදුවන්නේ දෙදෙනෙකුටම සිදුවිය හැකි යහපතක් බලහත්කාරයෙන් වැළැක්වීමයි.

1992 වසරේදී ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමිවූයේ ගැරී බෙකර්ටය. ජුලියෝ එලියස් සමඟ එක්ව 2007 වසරේදී ඔහු විසින් පළ කළ පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දුන්නේ වකුගඩුවක් සඳහා ඩොලර් 15,200ක මුදලක් ගෙවන්නේනම් ඇමරිකාවේ වකුගඩු සඳහා වන ඉල්ලුම හා සැපයුම සමතුලිත වනු ඇති බවයි. අවයව වෙළඳාමට එරෙහිව නැඟෙන ප්‍රධානම තර්කයක් වන්නේ එයින් ආදායම අඩු අයට අසාධාරණයක් වන බවයි. මේ හා අදාළව බෙකර්ගේ හා එලියස්ගේ යෝජනාව වූයේ මේ මුදල ෆෙඩරල් රජය විසින් වකුගඩු දායකයාට ගෙවිය යුතුබවයි. මේ මුදල එවැනි රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම (dialysis) වෙනුවෙන් රජය වැය කරන මුදලට වඩා අඩුබවත්, ඇමරිකාවේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට වැයවන මුදලින් 10%ක් පමණක් බවත් ඔවුහු පෙන්වා දුන්හ. ඉන්දියාව හා අදාළවද ඔවුන් මෙවැනිම ගණනය කිරීමක් සිදු කර තිබේ.

දැනට ලෝකයේ වකුගඩු පරිත්‍යාග කිරීම වෙනුවෙන් මුදලක් ලබාගැනීම නිත්‍යානුකූල වන්නේ ඉරානයේ පමණි. වෙනත් අංශ වලින් කෙතරම් පිටුපසින් සිටියත් මේ කරුණ හා අදාළව නිදහස් වෙළඳපොළ මූලධර්ම පිළිගැනීම අතින් ඉදිරියෙන්ම සිටින්නේ ඉරානයයි. ඒ නිසා, ඉරානයේදී පමණක් වකුගඩු බද්ධයක් අවශ්‍ය කෙනෙකුට පොරොත්තු ලේඛණයක නොරැඳී ඒ කටයුත්ත කරගැනීමේ හැකියාව තිබේ.

ඇමරිකාව වැනි රටක කෙසේ වෙතත්, ලංකාව හෝ ඉන්දියාව වැනි රටක අවයව වෙළඳාම නීතිගත කිරීමේ ඇති ප්‍රශ්නය වකුගඩුවක් පරිත්‍යාග කිරීම හා අදාළ අවදානම වඩා වැඩිවීම සහ ඒ අවදානම ගැන අඩු ආදායම්ලාභී, වකුගඩුවක් විකිණීමේ වැඩි ඉඩකඩක් ඇති කණ්ඩායමට නිසි අවබෝධයක් නොමැති විය හැකි වීමයි. ඒ නිසා, මෙවැනි කටයුත්තකදී දැඩි නියාමනයක් අවශ්‍ය වේ. එහෙත්, එවැනි නියාමනයක් සාර්ථක ලෙස ක්‍රියාවට නැඟිය හැකි යාන්ත්‍රණයක් ලංකාව වැනි රටක තිබේද යන්න සැක සහිතය.

අනෙක් අතට, ජීවිත ගණනාවක් බේරා ගැනීමේ හැකියාව ඇති, මිය ගිය අයගේ වකුගඩු විශාල ප්‍රමාණයක් නිකම්ම වැළලී යාමද සැලකිල්ලට ගතයුතු කරුණකි. අවයව පරිත්‍යාග කිරීමට කැමැත්ත ඉල්ලා සිටින බොහෝ රටවල මෙසේ කැමැත්ත ලබා දෙන්නේ රටේ ජනගහණයෙන් සුළු ප්‍රතිශතයකි. මෙයට විකල්පයක් ලෙස ඇතැම් රටවල් අවයව පරිත්‍යාගයට ඇති කැමැත්ත සාමාන්‍ය තත්ත්වය ලෙස සලකා එයට අකමැති අයට ඒ බව දැනුම් දෙන ලෙස ඉල්ලා ඇත. මෙසේ කළ විට අකැමැත්ත දැක්වීමට ඉදිරිපත් වන්නේද මුළු ජනගහණයෙන් සුළු පිරිසක් බැවින් මේ ක්‍රමය යටතේ අවයව සැපයුම බොහෝ සේ වැඩිකරගත හැකිය.
http://nelumyaya.com

http://economatta.blogspot.co.uk/2016/01/blog-post_23.html