වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට රත්කරව්ව හෝටලයකදී වෙඩි. උප පොලිස් පරීක්ෂකවරයෙක් මරුට.

0
65

කුරුණෑගල, රත්කරව්ව ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ නවාතැන් ගෙන සිටි අපරාධකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට ඊයේ (17 දා) රාත්‍රියේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරිහු දෙදෙනෙක් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළහ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ කුරුණෑගල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් නිලධාරින් පිරිසකි. ජීවිතක්ෂයට පත්වූයේ එහි අපරාධ අංශයෙහි සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

සොරකම් කරන ලද මෝටර් රථයක් රත්කරව්වේ පිහිටි අදාළ හෝටලයෙහි නවතා ඇති බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලැබී තිබූ දුරකථන ඇමතුමකට අනුව අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම හෝටලය වෙත ගොස් තිබේ. එම හෝටලයේ නවාතැන් ගෙන සිටි බව කියන අපරාධකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත ගෙනයාමට සැරසුණු අවස්ථාවේදී පොලිස් ග්‍රහණයෙන් මිදුණු එක් අපරාධකරුවෙකු සගවාගෙන සිටි පිස්තෝලයකින් පොලිස් නිලධාරින්ට වෙඩි තබා ඇති බව කියයි. වෙඩි ප්‍රහාරයට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර රෝහල් ගතකෙරුණු අනෙක් නිලධාරින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

උපුටාගැනීම – http://www.wayambatoday.com