විද්වත් මතේ වැඩි බර ග්ලයිෆොසෙට් තහනමට !

0
306
th
ග්ලයිෆොසෙට් භාවිතය හේතුවෙන් මානවයාගේ සෞඛ්‍යට  කිසිදු අහිතකර තත්ත්වයක් ඇති නොවන්නේයැයි විද්‍යාත්මකව ඔප්පු වන තුරු  ග්ලයිෆොසෙට් තහනම දිගටම පවත්වාගෙන යායුතු බව ග්ලයිෆොසෙට් තහනම සහ තේ කර්මාන්තයේ අනාගතය පිළිබදව ඊයේ (28දා) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති තීරණාත්මක විද්වත් සාකච්ඡාවේ වැඩි විදවත් මතය විය.
උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු මේ සාකච්ඡාව සදහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා , සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා , විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ,ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පූජ්‍ය අතුරුලියේ රතන හිමි, වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් බී විජේරත්න මහතා, උපායමාර්ගික ව්‍යවසාය කළමණනාකරණ ආයතනයේ  සභාපති අශෝක අභයගුණවර්ධන, ආචාර්ය පියසේන අභයගුණවර්ධන මහතා, ආචාර්ය රනිල් සේනානායක මහතා, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සභාපති , අධ්‍යක්ෂක ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සංවිධාන නියෝජිතයින් රැසක්ද සහභාගී වූහ.
ග්ලයිපොසෙට් වලට රාජිතත් බකට් අදියි !

එහිදී සභාව අමතමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ දන්ත වෛද්‍යවරයෙක් ලෙස ග්ලයිෆොසෙට් භාවිතයට විරුද්ධ වෙන බවයි. ඒ වෛද්‍ය විද්‍යාව තුළ සදහන් පරිදි යම් දෙයක් භාවිතයේදී ඒ පිළිබදව අනතුරු ඇගවීමක් තිබේ නම් එය වහාම නතර කළ යුතු වන බැවිනි. එය විද්‍යාත්මකව ඔප්පු වන තුරු භාවිතයට අවසර නැත යන රීතියට අනුව බවයි.

ක්ලයිමට් චේන්ජ් එකට ග්ලයිෆොසේට් තල්ලුව – ආචාර්ය රනිල්

ආචාර්ය රනිල් සේනානායක මහතා සිය අදහස් දක්වමින් සදහන් කළේ කදුකරයේ භූමිය තුළ පූර්ව වල් නාශකයක් ලෙස ග්ලයිෆොසෙට් භාවිතය නිසා පසේ ක්ෂුද්‍ර ජීවීන් විනාශ වී පස බාල වන බවත් දිය සීරාව රැදීම අවම කරන බවත්  මේ තත්තවයන් ඉදිරියේදී ඇති වන කාලගුණ විපර්යාසයන්ට දැඩිව බලපාන බවත්ය.තවද ග්ලයිෆොසෙට් ශරීරගත වූ විට මානව ශරීරය තුළ සිටින කුෂුද්‍ර ජීවීන් විනාශ වන බවත් එය මානව පැවැත්මට දැඩිව බලපාන බවත් ඔහු පෙන්වා දෙයි.එබැවින්  කුමක් රැක ගතයුතු වුවද පළමු අවධානය ශරීර සෞඛ්‍ය කෙරෙහි යොමු විය යුතු බව ඔහු පවසයි.

ලාභයට වඩා අලාභයි – අතුරලියේ රතන

මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය අතුරුලියේ රතන හිමි ග්ලයිෆොසෙට් භාවිතයෙන් ලබන ලාභයට වඩා අලාභය කිහිප ගුණයකින් වැඩි බව පෙන්වා දුන්නේය.කදුරට තේ වගාවෙන් වාර්ෂිකව ලබන ආදායම රුපියල් බිලියන 1 1/2 ක් බවත් තේ ආදායමෙන් 75%ක් ගෙන එන්නේ කුඩා තේ වතු හිමිකරුවන් බවත් පැවසීය. පසුගිය රජයද ග්ලයිෆොසෙට් තහනම් කළ අතර එදිනම සවස නැවත තහනම ඉවත් කළ බව රතන හිමියන් පැවසීය.පවතින ආණ්ඩුව රටට හිතකර ලෙස ගත් එකම තීන්දුව වූ ග්ලයිෆොසෙට් තහනමත් නැති කරන්න යාම කණගාටුවට කරුණක් බව උන්වහන්සේ වැඩි දුරටත් පැවසීය.

මගේ මතේ තේ රැකගැනීම පමණයි – ඇමති නවීන් 

මෙම විද්වත් සාකච්ඡාවට එක් වූ නවීන් දිසාකායක මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස වසර 150 ක් පැරණි තේ කර්මාන්තය රැක ගත යුතුවේ යන මතයේ තමන් සිටින බව පැවසීය.

වල් නාශක හා පළිබෝධ නාශක පිළිබද ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීම සදහා පත් කළ කමිටු වාර්තාව එම කමිටුවේ සිටි සාමාජිකයන් 10න් 7 දෙනෙක් අනුමත කර ඇති අතර බහුතර එකගත්වය මත තමන් වාර්තාව හා එකග වන බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් ග්ලයිෆොසෙට් භාවිතයේ අනතුරුදායක තත්ත්වයක් පවතින්නේ නම් මේ තහනමට තමන් එකග බව පවසන අමාත්‍යවරයා තේ කර්මාන්තයේ අභිවෘද්දිය වෙනුවෙන් විකල්ප ක්‍රම අවශ්‍ය බවත් ඒවා කාල රාමුවකට අනුව ක්‍රියාත්මක කළ යුතු
බවත් පැවසීය.

ග්ලයිෆොසෙට් නැත්නම් විකල්පය කුමක් ද ?

තේ පර්යේෂණ ආයතනයේ නියෝජිතයින් මෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ සභාපතිවරයාද පැවසුවේ ග්ලයිෆොසෙට් භාවිතා නොකරන්නේ නම් ඊට විකල්ප ක්‍රම යෝජනා  කරන ලෙසයි. විශ්ව විද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු වෛද්‍යවරු ඇතුළු වෙනත් විද්වතුන්  කරුණු පෙන්වාදෙමින් ප්‍රකාශ කළේ ග්ලයිෆොසෙට් තහනම් කළයුතු බවයි.
මේ වන විට යුරෝපා රටවල් රැසක ග්ලයිෆොසෙට් තහනම ක්‍රියාත්මක කර ඇත. වල් නාශනය සදහා රසායනික ක්‍රමවේද භාවිත කිරීමට වඩා භෞතික ක්‍රමවේදයන් කෙරෙහි යොමු විය හැකි බවත් එවැනි ක්‍රමවේද  දියුණු රටවල භාවිත් කරන බවත් මේ ප්‍රශ්නයට විසදුම් සෙවීමේදී සෑම දෙනාම යම් කැපකිරීමක් කළ යුතු බවත් විද්වතුන්ගේ අදහස විය.