විදුහල්පතිවරුන් සඳහා වූ නායකත්ව පුහුණු වැඩමුළුව නවතී

0
180

1519036809_3273380_hirunews_principal-deadවිදුහල්පතිවරුන් සඳහා ලබාදෙන නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය මිය යෑමේ සිදුවීම පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් ලබා දී තිබේ.

 එමෙන් ම විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන මෙම නායකත්ව පුහුණු වැඩමුළු අදාළ පරීක්ෂණ අවසන් වන තුරු නතර කිරීමට ද නියෝග කර තිබේ.
හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය පසුගිය දා කුරුණෑගල වාරියපොළ, වයඹ නායකත්ව පුහුණු කඳවුරේ දී පැවති පුහුණු වැඩසටහනක් අතරතුර හදිසි අනතුරකට ලක්වීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විණි.
විදුහල්පතිවරුන්ගේ පෞරුෂ සංවර්ධනය හා නායකත්ව ගුණාංග ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම පුහුණු වැඩසටහන්  ක්‍රියාත්මක කර ඇති අතර, විදුහල්පතිවරුන්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය සහ අනෙකුත් පහසුකම් පිළිබඳව අවධානය යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර සිට ම උපදෙස් ලබා දී තිබුණා. එවැනි වටපිටාවක් තුළ සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ අදාළ වගකිවයුතු නිලධාරීන්ගෙන් කරුණු විමසීමට ද අමාත්‍යාංශය මේ වනවිට  පියවර ගෙන තිබේ.

අනතුරින් මිය ගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පති රෝහිණී අතපත්තු මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ මීට පෙර රන්ටැඹේ සහ කුඩාඔය පැවති මෙවැනි නායකත්ව පුහුණු වැඩසටහන් දෙකක් සඳහා ද සහභාගී වී ඇති අතර, කෙඩෙට් නිලධාරිණියක ලෙස ද කටයුතු කර තිබේ.


news.lk