විල්සන් කරූලාට වෙච්ච ලොකුම අසාධාරණය ඔය පොලිසියට අරන් යාම නෙමෙයි. ඊට වඩා, එක්තරා සිනමාවක් කඩාවැටුණාට පස්සේ ඔවුන් ජීවත් වුනාද නැද්ද කියලවත් බලන්නට සිනමාකරුවන් රජය විතරක් නෙමෙයි ප්රේක්ෂකයින්වත් නැතුව යාමයි.ඊට පස්සේ මොකක් හෝ කැමරාවක් ඇවිත් තමන්ව අරගෙන යනකන් විල්සන් කරූ ඔය නිතරම වගේ ගෙදරට අඳින ඇඳුම පිටින්ම ඇවිත් සිගරට් එකක් ගගහ කිරුළපන හන්දිය පැත්තේ ඉන්නවා හයිලෙවල් රෝඩ් එකේ යන ඕනෑම කෙනෙකුට දකින්න පුළුවන් වුණා. එදා විල්සන් කරූ ලා සිනමා මායාවේ නිර්මාණය කරපු දුෂ්ට ලෝකය ඇත්තටම අත් විඳින්න වෙයි කියලා කවදාවත් හිතන්න නැතිව ඇති.
ඒ දුෂ්ට ලෝකයේ සැඟවිලා අතරමං වෙලා ඉන්න අතරේ පොලිසිය උස්සන් යෑම නිසා අඩුම ගානේ දැන් විල්සන් කරූ ගැන ප්රේක්ෂකයින් මොහොතකට හෝ හද උණු වෙලා කතා කරන්න පටන් අරන් තියෙනවා. ඔය විදිහට නැත්නම් දැන් විල්සන් කරු ලාගෙන් විකුණන්න පුළුවන් ප්රවෘත්ති හදන්න බැහැ. මොන මගුලක් හරි කරලා ඔබට ප්රවෘත්තියක් බවට පත් වෙන්න බැරි නම් මේ සමාජයට ඔබෙන් ඇති වැඩක් නෑ, ඔවුන් ඔබව හොයාගෙන එන්නෙ නෑ. ඉතින් ඒ වැඩේ වත් පොලිසිය නොකරන්න විල්සන් කරූ ආයෙ කවදාවත් කිසිම කැමරාවකට හසු නොවෙන්න ඉඩ තිබුණා. කාට හරි පුළුවන්නං විල්සන් කරුට මේ ෆේස්බුක් පෙන්නන්න, ඔන්න විලි ඔයා ගැන අපි මේ පැය කීපයේ කතා කරනවා ඉක්මනට ෆේස්බුක් ඇවිල්ලා බලාගන්න කියලා. එයාට මෙතෙක් නොලැබුණු මොනවා හරි දෙයක් ලැබෙනවා නං ඉතින් මේ පැය කීපය තුල සිදුවෙන දේවල් නිසා තමයි. ඒක පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා ගෙයක් දොරක් හදා දීම දක්වා දුර දිග යන්න පුළුවන්. දැන් එයාට උදව් කරන්න මිනිස්සු තරග කරන බවක් පේනවා.
එයාට හරි සන්තෝසයක් දැනේවි. Good old days ගැන මතක් වෙලා එයා ඇස් වලට කඳුළු ඇවිත් කියාවි, මොහොතකට මම ආයෙ ජීවත් වුණා වගේ මට දැනෙනවා… කියලා.එහෙම උනොත් පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න හිතට දුකක් පාළුවක් දැනුනහම එයා ආපහුත් මාස්ක් නැතුව පොලිසිය ඉන්න තැන් වලින් යන්න ඉඩ තියෙනවා!
සිනමාව මායාවක් නම් ජීවිතය ඊටත් වඩා මායාවන්!
(ධනංජය කරුණාතරත්නගේ ෆේස්බුක් පිටුවෙනි )