වෙබ් මාධ්‍යවේදින්ගේ අයිතිවාසිකම්වලට රජය ප්‍රතිචාර දක්වයි..

0
70

වෙබ් මාධ්‍යවේදින් විසින් තමන් මුහූන  දෙන ගැටළු ගැන සාකච්ජා කිරිම සදහා රජයෙන් අවස්ථාවක් ඉල්ලා සිටියේ පසුගිය මැයි මාසයේ සිටය.
එහෙත් අවසන් වශයෙන් එය ලැබුනේ නොවැ 14 වෙනිදා සවස්වරුවේදිය.
මෙහිදි දෙපාර්ශවය විසින් එකගතාවයට පැමිණ කරුණු සම්බන්ධයෙන් වෘත්තිය වෙබ් මාධ්‍යවේදින් විසින් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.
මේ අතර වෙබ් මාධ්‍යවේදින් සමගින් උපන් ගෙයි තරහකින් පසුවවන ටිරාන් අලස් ප්‍රමඛ අයගේ පත්තර විසින් අද එදින වු සාකච්ජාවට අදාලය මහා කෙප්පයක් පළ කර  තිබුණි.
එයට අනුව වෙබ් මාධ්‍යවේදින් රජයට සහය දෙන බවක් ප්‍රකාශයට පත්කර තිබුණි.
පහත පළවන්නේ නොවැ 14 වෙනිදා සිදුවු සාකච්ජාව ගැන වේබ් මාධ්‍යවේදින් විසින් ඉදිරිපත් කරන ලද පුවත් පත් නිවේදනය පහතින් පළවේ.

වෙබ් අඩවි වාරණය ඉවත් කර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන්න: වෙබ් මාධ්‍යවේදී සංගමය ආණ්ඩුවෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර පවත්වාගෙන යන ප්‍රවෘත්ති වෙබ් අඩවි මෙන්ම විදේශයන්හි සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික ප්‍රවෘත්ති වෙබ් අඩවි වෙත රටේ මහජනතාවට ඇති ප්‍රවේශය අවහිර කරමින් අන්තර්ජාල සේවා සපයන්නන් විසින් වක්‍ර ආකාරයෙන් සිදුකරන වාරණය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් බැවින් එම අවහිර කිරීම් වැළැක්වීමට මැදිහත් වී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතිවාසිකම ආරක්ෂා කිරීමට කැපවන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙම ඉල්ලීම කරන ලද්දේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතාගේ ආරාධනයෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය නොවැම්බර් මස 14 වනදා සවස ආණ්ඩුවේ නියෝජිතයන් සමග කරන ලද සාකච්ඡාවකදීය.

වෙබ් මාධ්‍යවේදීන් විසින් තම ක්ෂේත්‍රයේ පවතින වෘත්තීය ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙතින් අවස්ථා ගණනාවකදී ඉල්ලීමක් කොට තිබූ අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය අමාත්‍යන්ශයේ ලේකම් චරිත හේරත් මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

දැනට ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් විසින් අනියම් අන්දමින් අවහිර කොට ඇති තම සංගමයේ සාමාජික වෙබ් අඩවි වන ‘ශ්‍රී ලංකා මිරර්’ සහ ‘දි ඉන්ඩිපෙන්ඩන්ට්’ ප්‍රවෘත්ති වෙබ් අඩවි මෙන්ම විදේශයන්හි සිට ක්‍රියාත්මක කරනු ලබන ලංකා ඊ නිවුස්, ලංකා නිවුස් වෙබ්, කොලම්බු ටෙලිග්‍රාෆ් සහ ටැමිල් නෙට් යන වෙබ් අඩවි මත පනවා ඇති වාරණය ඉවත් කරන ලෙසද, ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වශයෙන් ක්‍රියාකරමින් සිටියදී 2010 ජනවාරි මස සිට අතුරුදහන් කරනු ලැබ සිටින ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සොයා ගැනීම සඳහා අපක්ෂපාතී විමර්ශනයක් ආරම්භ කරන ලෙසද වෙබ් මාධ්‍යවේදී නියෝජිතයෝ මෙම සාකච්ඡාවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.

මෙහිදී ආණ්ඩුවේ නියෝජිතයන් ප්‍රකාශ  කළේ අන්තර්ජාලය පරිහරණය කිරීම දිරිගැන්වීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවත්, ප්‍රවෘත්ති වාරණය කිරීම කිසිදු ලෙසකින් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බවත් ය.

“අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙන්ම ශ්‍රී ලංකාවද පාර්ශ්වකරුවකු වන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය මගින්ද පිළිගෙන ඇති මානව අයිතිවාසිකමක් බවද, එම අයිතිවාසිකම ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුවට වගකීමක් ඇති බවද, පුරවැසියන් විසින් අන්තර්ජාලය ඔස්සේ අදහස් පළකිරීමද එම අයිතිවාසිකමට ඇතුළත් වන බවද, ශ්‍රී ලංකාව තුළ වෙබ් අඩවි වාරණය කිරීම පිළිබඳව පසුගියදා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව පිළිබඳව සලකා බැලූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවද තම අවසානාත්මක නිරීක්ෂණයන්හි දක්වා ඇති බවද වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් මෙම සාකච්ඡාවේදී ආණ්ඩුවේ නියෝජිතයන් වෙත වැඩි දුරටත් කරුණු දැක්වූ බව” ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතා ප්‍රකාශ කළේය.

පාඨකයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිම සඳහා ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ ආචාර ධර්ම පද්ධතිය ගුරුකොට ගත් ආචාර ධර්ම පද්ධතියක් තම සාමාජිකයන් වෙනුවෙන් සැකසීමටද, ප්‍රවෘත්ති වෙබ් අඩවි සඳහා ස්වයං නියාමන ක්‍රමවේදයක් ගොඩ නගා ගැනීමටද තමන් දැනටමත් කටයුතු කරගෙන යන බවද වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයෝ මෙහිදී ආණ්ඩුවේ නියෝජිතයන් වෙත දැනුම් දුන්හ.

එසේම ප්‍රවෘත්ති වෙබ් අඩවිවල ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා සහ වෙබ් මාධ්‍යවේදීන්ගේ වෘත්තීමය භාවය වැඩිදියුණු කිරීම සඳහා වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය හා සම්බන්ධව පුහුණු පාඨමාලා සංවිධානය කිරීමට මෙන්ම  මාධ්‍යවේදින්ට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන හැඳුනුම්පත නිකුත් කිරිමටද  ආණ්ඩුවේ නියෝජිතයෝ එහිදී එකඟතාවයකට පැමිණියේය.

එසේම වෙබ් අඩවි ලියාපදිංචිය විධිමත් කොට කඩිනම් කිරීමටත් එහිදී වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ සාමාජිකත්වය දරන වෙබ් අඩවි සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් දැක්විමටද එකඟතාවය පළ විය.

මෙම සාකච්ඡාවේදී වෙබ් මාධ්‍යවේදීන් සහ එම ආයතන මුහුණදෙන ගැටලු ගණනාවක් පිළිබඳව සාකච්ඡා වූ අතර ඒ පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරී සැළැස්මක් සෑදීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතා සමග එක්වී කටයුතු කිරීමට වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයෝ එකඟ වූහ.

ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින් එම සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතා, ලේකම් සහ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේ කර්තෘ කැලුම් ශිවන්ත සංගමයේ උප ලේකම් හිමාෂි කරුණාරත්න මෙනෙවිය,  සමග සංගමයේ උපදේශකවරුන් වන නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ රුවන් ෆර්ඩිනැන්ඩස් යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
-END

Microsoft Word - Kehaliya_Letter