ශ්‍රී මහා බෝධිය යට පොඩි අඩියක් ගහන්න ආසයි….

0
608
w jayasiriඩබ්ලිව්. ජයසිරි නිසැකයෙන්ම අයත් වන්නේ අතලොස්සක් වූ අපේ විශිෂ්ට නළු පරම්පරාවටය. ඔහු වඩාත් සුවිශේෂ නළුවකු වන්නේ වේදිකාව, සිනමාව, පුංචි තිරය යන මාධ්‍යත්‍රවයම සිය රංග ප්‍රතිභාවෙන් ඔපවත් කළ නිසාවෙනි. එමෙන්ම අඛණ්ඩව තවමත් එකී මාධ්‍යයන්හි රංග කාර්යයේ නියැළෙන ජ්‍යෙෂ්ඨතමයා ද ඔහුය.

එසේම ඔහු නළුකමෙන් ඔබ්බට සිය කුසලතාවන් රැගෙන ගිය කලාකරුවකු ද වේ. ඔහු තිර කතා රචකයෙකි. සහාය අධ්‍යක්ෂවරයෙකි. ගීත රචකයෙකි. මේ සියල්ල හරහා ඔහු තම අපූර්ව ප්‍රතිභාවත්, අනන්‍යතාවත් ප්‍රකට කළ අයුරු ප්‍රබුද්ධ ප්‍රේක්ෂකයාට, රසිකයාට අමතකව නැත.

මිනිස් ජීවිතවල ඇතුලාන්තයට එබිකම් කිරීම ඔහුගේ සිරිතය. ඔහු විවිධාකාර වූ භූමිකාවන් ප්‍රති නිර්මාණය කරන්නේ ඒ අත්දැකීම්, අනුභූතින් ඔස්සේය. වෙස් ගැන්වීම්වලින් තොරව එකම ස්වරූපයකින් වුව ඕනෑම චරිතයකට අනුවර්තනය වීමේ හැකියාව ඔහු සතුව පවතින්නේ එකී හැදෑරීම නිසාවෙනි.

බොහෝ විෂයයන් පිළිබඳ මුහුකුරා ගිය දැනුමක් ඇත්තකු වුව ද අද ජයසිරි අප හා එක් වන්නේ කලා ලොවේ විවිධ ඉසව් පිළිබඳ සිය මතවාද හා ආකල්පයන් ගෙනහැර පෑමටය.

වර්තමානයේ කොහොමද ඔබේ කලා කටයුතු සිද්ධ වෙන්නේ?

ITN රූපවාහිනියේ ‘රන්දම්වැල්’ ටෙලි නාට්‍යයේ රඟපානවා. ඊට අමතරව ‘යාන්ස් කැෆේ’ කියලා පොඩි වැඩ සටහනක් කරනවා ඒ නාළිකාවටම. ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවල භීෂණ’ හා ‘මකරාක්ෂයා’ වේදිකා නාට්‍යවලත් මම රඟපානවා. ඊට අමතරව තිලක් නන්දන හෙට්ටිආරච්චිගේ ‘ගුටිකෑමට නියමිතයි’ වේදිකා නාට්‍යයටත් රංගනයෙන් දායක වෙනවා.

ඒ වගේම සිනමාවටත් දායක වුණා?

මෑතකදී මම වැඩ ඉවර කළා ශාහිරු රණසිංහ කියන නවක අධ්‍යක්ෂවරයාගේ ‘වීර වර්ණ’ කියන චිත්‍රපටයේ. රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු ප්‍රවීණ නළු, නිළියන් කිහිප දෙනෙක්ම එහි මා සමඟ රංගන කාර්යයේ නියැලෙනවා. සරත් ධර්මසිරිගේ ‘සූවිසි විවරණ’ ඇතුළු චිත්‍රපට කිහිපයක්ම එන්න තියෙනවා.

බොහෝ නළු, නිළියෝ කියන දෙයක් තමයි මේ වේදිකාව, සිනමාව හා පුංචි තිරයේ රඟපෑම් එකිනෙකට වෙනස් කියන එක. ඒ කියන්නේ ආකාර තුනක්. දැන් ඔබට එහෙම එකක් දැනෙනවාද?

ඔව්. ඉතින් මෙහෙමයි. රඟපෑම නම් ඉතින් කෝකේ රඟපෑවත් එකයි. රඟපෑමේ වෙනස්කමක් නෑ. නමුත් රඟපෑමේ තාක්ෂණය වෙනස් වෙනවා මේ මාධ්‍ය තුනේ. වෙනස් වෙන්න හේතුව තමයි, එකක් රිදී තිරයේ තිර නාටකය ගත්තම ඊට වඩා හාත්පසින්ම වෙනස් ටෙලි නාට්‍යයකට ලියන තිර නාටකය. ඔය දෙක අහසට පොළොව වගේ වෙනස්. මොකද ඒ මාධ්‍යය දෙකේ තිබෙන සීමාසහිතකම් හා සීමා රහිතකම් නිසා. අපි දැන් දන්නවා 35 M. M. චිත්‍රපටයක් ගත්තම ඒ එක රූප රාමුවක් තුළ පුංචි තිරයේ විනාඩි පහළොවක තරම් දේවල් කියන්න පුළුවන්.

ලොකු වෙනසක්?

බරපතල වෙනසක්නේ. ඒක සිදු වෙන්නේ තාක්ෂණය නිසා. නමුත් වේදිකාවේ රඟපෑම මේ දෙකටම වඩා වෙනස්. වේදිකාව කියන්නේ සජීවී මාධ්‍යයක්. ඉතින් ඒ රඟපෑමේදී අර දෙකටම වඩා වෙනස් තාක්ෂණයක් තමයි අනුගමනය කරන්න තියෙන්නේ. රඟපෑවොත් රඟපෑවම තමයි. ආයේ ටේක් එකකට යන්න පුළුවන්කමක් නෑ. මම හිතන්නේ නළුවකුට තියෙන ලොකුම ආශිර්වාදය තමයි වේදිකාව.

ඒ නිසා තමයි ඔබ අදටත් වේදිකාවේ රැඳී ඉන්නවා ඇත්තේ?

අනිවාර්යයෙන්ම. මොකද මෙහෙ ඉගෙන ගන්න රංග පාසල් නෑ. එහෙම පහසුකම් නෑ. ඉතින් අපි රඟපෑම අධ්‍යයනය කරන්නේ සහ ඉගෙන ගන්නේ වේදිකාවෙන්.

දැන් වේදිකාවෙන් උපන් ඇතැම් නළු නිළියෝ අද වේදිකාව අතැර ගොස් තිබෙනවා. ඔවුන් තමන්ගේ ශිල්ප හරඹ දක්වන්නේ සිනමාවේ නැතිනම් පුංචි තිරයේ. මේක ඔබ දකින්නේ ඔවුන්ගේ ගුණමකුකමක් හැටියටද?

නෑ. ඒ ගැන නම් මම මොකවත් කියන්නේ නෑ. එක එක් කෙනා එක එක විදිහට හිතන්නේ. එක එක විදිහට තමයි ජීවිතය පිළිබඳ ප්‍රතික්‍රියා දක්වන්නේ. ඒවායේදී ඒගොල්ලන්ට හිතෙනවා ඇති වේදිකාවේ රඟපෑම අමාරුයි කියලා. ඇත්ත. වේදිකාවේ රඟපාන්න ගියාම චිත්‍රපටවල හරි, ටෙලි නාට්‍යවල හරි වගේ පහසුකම් ගොඩක් නෑ. මොකද අපට පුහුණුවීම්වලට යන්න වෙන්නේ සවස 5.00 සිට රූ 7.00 – 8.00 වෙනකල්. ඊට පස්සේ කන බොන දේවල් කියලා මහා විශාල දේවල් ලැබෙන්නේ නෑ. බිස්කට් එකක්, ප්ලේන්ටියක් හම්බ වෙනවා. එච්චරයි.

වේදිකවේ රැඳී සිටින්නට වෙන්නෙ දුක වළඳමින්?

අනුරාධපුරය, පොළොන්නරුව නැතිනම් ඇලහැර හරි, බකමූණේ හරි ඈත පළාතක නාට්‍යයක් පෙන්නන්න යනවා නම් ඉතින් හැමෝම එකම බස් එකක නැගලා යන්න ඕනෑ. එහෙම ගිහින් රඟපාලා යළිත් කොළඹට එනවා අපේ ගෙවල් දොරවල්වලට. ඒක ඉතිං ටිකක් ශාරීරිකව අමාරු කටයුත්තක් තමයි. නමුත් ඒ අමාරුකම් ඔක්කොම මැද්දේ අපි රංගන ශිල්පීන් හැටියට, වේදිකාවේ ලබා ගන්න තෘප්තිය වෙන මොනම දේකින්වත් ලබා ගන්න බෑ.

අද මේ මා හමුවන්නට පෙර ඔබ රූපවාහිනී සාකච්ඡාවකට සහභාගි වුණා. ඒ සුවිශේෂ කාර්යයක් සම්බන්ධයෙන්?

ධර්මසේන පතිරාජ සහ මම තමයි ඒ රූපවාහිනී සාකච්ඡාවට ගියේ. මොකද පතීගේ ‘කඩුල්ල’ ජාතික රූපවාහිනිය හරහා නැවත විකාශය වන නිසා එහි පූර්ව ප්‍රචාරක වැඩ සටහනකටයි අපි සම්බන්ධ වුණේ. එය පසුගිය ඉරිදා සිට නැවත විකාශය වෙනවා.

‘කඩුල්ල’ අපේ ටෙලි නාට්‍යය වංශ කතාවේ හැරවුම් ලක්ෂ්‍යයක්. අද වගේ දවසක එබඳු ටෙලි නාට්‍යයක් විකාශය කිරීම හරහා බලාපොරොත්තු වන්නේ කුමක්ද?

එදා ‘කඩුල්ල’ නොබලපු බොහෝ ප්‍රේක්ෂකයන්ට එම නාට්‍යය නැරැඹීමේ වරම උදා වෙනවා. නරඹපු අයට යළිත් එය නැරැඹීමට අවස්ථාවක් ලැබෙනවා. අද පෙන්වන ටෙලි නාට්‍යවලත් ‘කඩුල්ල’ වගේ ටෙලි නාට්‍යයකත් තියෙන වෙනස අහසට පොළොව වගේ. ඒ වෙනස ඔබට බලාගන්න පුළුවන්. එතකොට එහි ත්‍රිමානය ඔබට දැකගන්න පුළුවන්. රූපවාහිනියේ බොහෝ විට පැතලි රූප තියෙන්නේ. නමුත් ‘කඩුල්ල’ ටෙලි නාට්‍යයේ ඒ ත්‍රිමානය තියෙනවා. ඒ මාන තුනම අපිට දකින්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ලංකාවේ ටෙලි නාට්‍යයවල දකින්නට නැති ලක්ෂණයක්.

තිලක් ජයරත්නගේ තිර නාටකය තමන්ට මෙවැනි විශිෂ්ට ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීමට අවැසි පසුබිම සකසා දුන් බව එහි අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ වරක් ප්‍රකාශ කළා මට මතකයි?

‘කඩුල්ල’ ටෙලි නාට්‍යයේ තියෙන්නේ ලංකාවේ රාජකාරි ක්‍රමය නැති වෙලා මුදල් මේ සමාජයේ පරිහරණයට ආපු කතා පුවත. කුලභේදය පදනම් කරගෙන තිබූ රාජකාරි ක්‍රමය අහෝසි වෙලා ඒ වෙනුවට මුදල බලවත් වූ සමාජයක වගතුගයි එහි විවරණය වෙන්නේ. ලංකාවේ මුල්ම ධනපතියන් බිහි වීම මේ ටෙලි නාට්‍යයේ හොඳට පේනවා. මෙහි එක තැනක තියෙනවා එක දෙබසක්. සෙබස්තියන් කුරේ කියන උපදේශකවරයා කුරුතේරිස් මුදලාලිට කියනවා ‘මුදලාලි සල්ලිවලට නිදැල්ලේ හැසිරෙන්න ඉඩ දෙන්න. නැතිනම් ඒ සල්ලි කැරළි ගහයි’ කියලා. ඒ කියන්නේ ධනපති ක්‍රමය පිළිබඳ මූලික සමාජ විවරණයක් මේ ටෙලි නාට්‍යයට පසුබිම් වෙනවා. ධනපති ක්‍රමය කොහොමද අපේ සමාජයට ඇබ්බැහි වුණේ, කොහොමද සමාජ දේහය ඇතුළට කාන්දු වුණේ කියන එක මේ ටෙලි නාට්‍යය නරඹනකොට පෙනෙනවා.

එතකොට අද පොදුවේ නැඟෙන චෝදනාවක් තමයි හොඳ තිර පිටපත් නැහැයි කියන එක. ඒක සිනමාවටත් පොදුයි. රූපවාහිනියටත් පොදුයි?

ඔව්.

හොඳ තිර පිටපත් නැතුව හොඳ චරිත බිහි වෙන්නේ නෑනේ. මේ අර්බුදය ඔබටත් දැනිලා තියෙනවාද නළුවෙක් හැටියට?

ප්‍රායෝගිකව නළුවෙක් හැටියට දැනිලා තියෙනවා. නමුත් කරන්න දෙයක් නෑ, නළුකම ජීවන වෘත්තිය කරගෙන ඉන්න නිසා ලියලා දෙන ඕනෑ දෙයක් රඟපාන්නට සිදු වෙලා තියෙනවා.

ඒක හිතට විරුද්ධව කරන දෙයක් ද නැතිනම්…?

මේ වගේ වෙළෙඳ සමාජයක, පරිභෝජනවාදී සමාජයක නිෂ්පාදනය වෙන නිර්මාණ පවා අපිට හිතට එකඟද, හිතට විරුද්ධ ද කියා හිතන්න අවකාශ නෑ. ජීවත්වීම සඳහා මේක කරන්න වෙනවා.

ඔබත් විශිෂ්ට තිර නාටක රචකයෙක්?

මේ මෑතකදී මම චිත්‍රපටයක් සඳහා තිර නාටකයක් ලිව්වා. ටෙලි නාට්‍යයකට පිටපතක් ලියන එක හරි කම්මැලි වැඩක්. අක්කර ගණන් දික් කර කර ලියන්න එපායැ. ඒත් චිත්‍රපටයක තිර නාටකය ඊට වඩා වෙනස්. මම ලියපු තිර නාටකය දුන්නා රුක්මාල් නිරෝෂ්ට. ඔහු අලුත් අධ්‍යක්ෂවරයෙක්. ඔහු මම හිතන්නේ ඉදිරි කාලයේදී ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරාවි. මමත් ඒ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නයි හිතාගෙන ඉන්නේ. මේ තිර නාටකය ලියන්න මට අවුරුදු එක හමාරක් විතර ගියා.

ඒත් සමහරු නම් දවසෙන් දෙකෙන් තිර නාටක ලියනවා?

අද පිටපත් ලියන්නේ නිකං ලියවන පට්ටල්වල වගේ. ස්වරූපය කපලා ඇතුළට දැම්මාම කැපී කැපී එන්නේ ලියවන පට්ටලෙන්. ඒ වගේ තමයි දැන් මේ තිර නාටක ලියන්නේ. නමුත් එහෙම ලියපු තරමට මේ කලා කෘතිවල තිබෙන වටිනාකම ගිළිහෙනවා.

ඔබ ඔය වක්‍රව කියන්නේ ‘මෙගා’ ටෙලි නාට්‍යය ගැනද?

මෙගා විතරක් නෙවේ, ඕනෑම ටෙලි නාට්‍යයක් පිළිබඳ ඔය තර්කය අදාළයි. නිතරම ටෙලි නාට්‍යය ලියන අය මා ගැන තරහක් ඇති කර ගන්න එපා. ඔවුන් ලියන ටෙලි නාට්‍යයවලත් මම රඟපානවා. නමුත් කොහොමද මෙගා ටෙලි නාට්‍යයක කොටස් සීයක් ලියන මනුස්සයෙක් අවුරුද්දකට කොටස් පන්සීයක් විතර ලියන්නේ. කොහෙන්ද එච්චර ගබඩාවක්. ලියවන පට්ටල් නෙවේනේ මිනිස්සු. ඒ හින්දා තමයි හුඟාක් ටෙලි නාට්‍යය එක වගේ වෙන්නේ.

කෙනෙකුගේ පරිකල්පන ශක්තිය තුළ එවැනි නිර්මාණයක් බිහි වෙන්න බැරිද?

නිර්මාණ පරිකල්පන ශක්තිය කියන්නේ මේ ගඟක වතුර ගලනවා වගේ හෝ ගාලා කෙළවරක් නැතුව එන එකක් නෙවේනේ. පරිකල්පන ශක්තිය ඇති වෙන්න සතත අභ්‍යාසයේ යෙදෙන්න ඕනෑ. ව්‍යුත්පත්තිය තියෙන්න ඕනෑ. ඉතින් ඔය ව්‍යුත්පත්තියයි, සසත අභ්‍යාසයි දෙකට දවසේ පැය පහක්, හයක්වත් වෙන් කරන්න එපායැ. එතකොට පැය පහක්, හයක් නිදාගන්නත් එපායැ. ඉතින් එතකොට මෙයාට ලියන්න පැය කීයද ඉතිරි වෙන්නේ. ඉතිං ඒ කාලය තුළ එපිසෝඩි සීයේ ටෙලි නාට්‍යය පහක් විතර ලියනවනේ. අනේ මන්දා මට නම් හිතා ගන්නවත් බෑ. ඒ හින්දා වෙන්නැති හැමදාම එකම දේ ලියවෙන්නේ.

උදාහරණයක් හැටියට කිව්වොත් එබඳු ටෙලි නාට්‍යයවල ඔබ රඟපාන චරිතත් ඒකාකාරී වෙන්න පුළුවන්?

බොහෝ වෙලාවට අපි රඟපාන ටෙලි නාට්‍යවල එකම අර්ථය තියෙන දෙබස් කියැවෙනවා කීප වතාවක්. ඒක අධ්‍යක්ෂවරයාට කිව්වාම ඔහු හිනා වෙනවා. පිටපත් රචකයාට කිව්වාම ඔහු කියනවා ‘මම කිව්වා මේක ලියන්න බෑ කියලා. මේගොල්ල බල කරන නිසා මම මේ ලියන්නේ’ කියලා. මොකක් හරි නිදහසට කාරණාවක් කියනවා. නමුත් අවසන් ප්‍රතිඵලය වෙන්නේ නිර්මාණයේ තියෙන ශක්‍යතාවන් පිරිහීම.

සමහරු දර්ශන තලයේදීත් පිටපත ලියනවලු?

මේ මෙගා කියන එක පටන් ගන්න ඉස්සර වෙලා කොටස් විසි පහේ, තිහේ ටෙලි නාට්‍යයනේ කළේ. එතනදි අපිට ටෙලි නාට්‍ය පිටපතක් හම්බ වෙනවා. සුමාන දෙකකට විතර කලින් ඒක ලැබෙන්නේ. අපි ඉතින් ඒක කියවනවා. දැන් මම කියන්නේ තිර නාටකයක් කියවලා අපි අදහසක් ගත්තා කියලා රඟපාන්න ගියාම ඒක කරන්න බෑ. සමහර විට අධ්‍යක්ෂවරයාගේ අදහස ඊට වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ ටෙලි නාට්‍යය මොන වගේ එකක් ද, කොයි වගේ දෙයක් ද මේකේ ලියලා තියෙන්නේ, මොන වගේ පසුබිමක් ද තියෙන්නේ, මොන වගේ තේමාවක් ඔස්සේ ද කතා කරලා තියෙන්නේ කියන එක ගැනවත් පොඩි අදහසක්වත් ලබා ගන්න පුළුවන්.

එතකොට ක්ෂණික නූඩ්ල්ස් වගේ පිටපතකින් නළු, නිළියන්ට සිදු වෙන සෙතක් නෑ කොහෙත්ම?

පිටපත ලියන්නේත් දර්ශන තලයේදී නම් ඒ වගේ ටෙලි නාට්‍යයකින් අපට ලබා ගන්න දෙයක් නෑ. ලියලා දෙන දෙබස් ටික කට පාඩම් කරලා කියන එක විතරයි වෙන්නේ.

ඔබ පවා ඒ වැරැද්ද කරනවා?

ඒක වැරැද්දකුත් නෙවේ. හරි දේකුත් නෙවෙයි. ඒක මහා අපරාධයක්. ඒ අපරාධය කරන්න වෙනවානේ. ඉතින් මම කියලා මේකෙන් ගැළවෙන්නයැ. දැන් මඩේ ඉපදෙන නෙළුම් මල් මඩේ නොගෑවී වතුරේ උඩ ඉන්නවා වගේ ඉන්න බෑ. මේ මඩේ ගෑවි ගැවී මඩේම තමයි ඉන්න වෙන්නේ.

මඩ යට ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න ඕනෑ?

සම්බන්ධ වෙන්න ඕනෑ. නැතිනම් කොහොමද අපි ජීවත් වෙන්නේ.

සිනමාව කඩා වැටිලා කියලා සමහරු කියනවා. ‘සිංහල සිනමාව සුනේ සුන්’ කියලා කියපු අයත් නැතුවා නෙවෙයි. මේ සම්බන්ධයෙන් ඔබේ පෞද්ගලික ආකල්පය කුමක්ද?

සිනමාව කඩා වැටෙනවා, කඩා වැටෙමින් පවතිනවා. හේතුව ඩිජිටල්. අපේ සිනමා ශාලාවල් ඩිජිටල්කරණය කරන්න ඕනෑ. නමුත් එහෙම ඩිජිටල් කිරීමේ ප්ලෑන් එකක් හරි, සූදානමක් හරි නෑ. එක සිනමා ශාලාවක් ඩිජිටල් කරන්න ලක්ෂ හැත්තෑ පහක්, අසූවක් ඕනෑ කියලා කියනවා. ඉතින් මේ සිනමාව කඩා වැටිලා තිබෙන අවස්ථාවේ මම හිතන්නේ නෑ කිසිම ප්‍රදර්ශන ශාලා හිමියෙක් ලක්ෂ සීයකට ආසන්න මුදලක් වෙන් කරලා තමන්ගේ සිනමා ශාලාව ඩිජිටල් කරයි කියලා. දැනට ප්‍රදර්ශනය වන සමහර චිත්‍රපට ඩිජිටල් ක්‍රමේට රූගත කරලා ඒක 35 ර්. ර්. වලට ට්‍රාන්ස්ෆර් කරලයි තියෙන්නේ. ඒකට සෑහෙන මුදලක් යනවා. සල්ලි හම්බ කරනවා නම් ඉතිං හරි ෂෝක්.

සිනමාව කඩා වැටිලා කිව්වාට ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ප්‍රදර්ශනය වන සිංහල චිත්‍රපටත් තියෙනවා?

‘ගින්දරී’ සහ ‘ප්‍රවේගය’ චිත්‍රපටවලට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන බවට ආරංචි ලැබෙනවා. මම ඔය ‘ප්‍රවේගය’ කියන චිත්‍රපටය බැලුවා. ‘ගින්දරී’ නම් බැලුවේ නෑ. නමුත් ‘ගින්දරී’ මම හිතන්නේ ලංකාවේ සිනමාවට වඩාත් නැඹුරු වූ චිත්‍රපටයක්. එබඳු චිත්‍රපටයක් වැඩි ප්‍රේක්ෂක පිරිසක් නරඹන එක ඉතාමත් හොඳයි.

‘ප්‍රවේගය’ ගැන අදහස?

ප්‍රවේගයේ තියෙන්නේ දෙමළ හුරුවක්. දෙමළ ඩයලොග් නැති එක විතරයි තියෙන්නේ. නැතිනම් ඇක්ටින්, ඒ කියන්නේ රඟපෑමේ ශෛලිය, සංස්කරණ ශෛලිය, ඉරියවු ඒ සියල්ලේම තියෙන්නේ දෙමළ ආභාෂය. තාම මට හිතෙන්නේ අර ජයවිලාල් විලේගොඩ කියපු එක සිද්ධ වෙනවා. මුල්ම සිංහල චිත්‍රපටය බලපු වෙලාවේ ජයවිලාල් කිව්වා භාෂා කිහිපයක් කතා කරන ඉන්දීය සිනමාවට තවත් භාෂාවක් එකතු වුණා කියලා. මම හිතන්නේ තාම ඒක වෙනවා. තාම අපි ඉන්දියාවෙන් කොපි කරනවා.

ඔබට අපේ සිනමාවේ වීරයා වෙන්න, පෙම්වතා වෙන්න, සුපිරි තරුව වෙන්න අවකාශයක් ලැබුණේ නෑ. ඒ ගැන පසුතැවීමක් නැද්ද?

නෑනේ ඉතින්. දැන් අපි චිත්‍රපට කලාවට සහභාගි වෙනකොට ටිකක් වයස ගිහිල්ලා. ඉතිං එතනදි අපට පෙම්වතාගේ හෝ වීරයාගේ චරිත ලැබෙන විදිහක් තිබුණේ නෑ. නමුත් වෙනත් රටවල නම් නළුවකුට වයස එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි ප්‍රධානම චරිත නැති වුණත් මට එවැනි චරිතත් ලැබිලා තියෙනවා. කොහොම හරි වාණිජ සිනමාවේ වීරයා, පෙම්වතා කියන තත්ත්වයට නම් මට එන්න ලැබිලා නෑ.

ඔබ සිනමාවට සම්බන්ධ වෙන්නේ අහස් ගව්ව‘ චිත්‍රපටයෙන්?

ඔව්. ඒත් නළුවකු හැටියට නෙවේ. පතීගේ යාළුවෙක් විදිහට. විශේෂ කටයුත්තක් කෙරෙන්නේ නෑ. නමුත් මම සහාය අධ්‍යක්ෂවරයෙක් හැටියට සම්පූර්ණයෙන්ම කාලය යොදවලා සම්බන්ධ වෙන්නේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයට. ඊට පස්සේ පතීගේම ‘පොන්මනී’ හා ‘පාර දිගේ’ චිත්‍රපටවලට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණා. ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටයට මම සම්බන්ධ වුණේ සම තිර නාටක රචකයා හැටියට. එතකොට ඩී. බී. නිහාල්සිංහයන්ගේ ‘මල්දෙණියේ සිමියොන්’ සම තිර නාටක රචකයාත් මම. නිහාල්සිංහ මහත්මයාගේ ‘රිදී නිම්නය’ චිත්‍රපටයේත් මම සහාය අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කර තිබෙනවා. ඉතිං පතී එක්ක තමයි මම සිනමාවේ ගොඩක් දුරට වැඩ කටයුතු කළේ.

‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ තේමා ගීතය වූ ‘හඳුනා ගත්තොත් ඔබ මා’ පද රචකයා ඔබ. ලාංකේය සිනමා සංගීතය පිළිබඳ කතා කරන විට එය නිබඳවම විමර්ෂණයට, ඇගයුමට ලක් වන නිර්මාණයක්?

ඔව්. මේ ගීතය පිළිබඳ බොහෝ විචාරකයන් මෙන්ම පේ‍්‍රක්ෂකයන් ද ප්‍රශංසාත්මකව කතා කර තිබෙනවා. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සම්මත ගීත ආකෘතියෙන් බැහැරවයි මෙහි තනුව හා සංගීතය නිර්මාණය කළේ. අයිවෝ ඩෙනිස්, ටී. එම්. ජයරත්න හා සුසිලා අබේසේකර තමයි මේ ගීතයට ගායනයෙන් දායක වුණේ. කෙසේ හෝ මේ ගීතය සමාජයේ පුළුල් කතාබහකට ලක් වුණා.

‘නිදිකුම්බා මල් කැකුලී’, ‘සෙනෙහස පුපුරා’ වගේ අරුත්බර ගී මෙන්ම ‘ලොරෙන්සෝ ද අල්මේදා’ වැනි ගීතත් ලිව්වෙත් ඔබ. ඇයි මේ ගීත රචකයා ඉදිරියට ගේන්න ඔබ වැඩිපුර උත්සාහ නොකළේ?

එක දිිගට ගීත නොලිව්වාට ඇරැයුමක් ලැබුණොත් මම ගීත ලියනවා. එහෙම ටෙලි නාට්‍යය ගීත කිහිපයකුත් මා අතින් රචනා වුණා. ‘උත්තමාවි’, ‘තෙත සහ වියළි‘, ‘ගල් පිළිම සහ බොල් පිළිම’, ‘සුළඟ මත මොහොතක්’ වගේ ටෙලි නාට්‍යය කිහිපයකටම මම ගීත ලියලා තියෙනවා. නමුත් ඉතින් ඒවා ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ ප්‍රචාරය වෙන්නේ නැති එක ගැන මම මොනවා කරන්නද?

ගීත රචක, ඩබ්ලිව්. ජයසිරි කියන්නේ නෑනේ නේද?

ඔව්, ඔව්.

ඔබ ITN නාළිකාවත් එක්ක මෑතකදී ‘යාන්ස් කැෆේ’ විශේෂාංගය ආරම්භ කළා. ධ්. ඊ. ව්. නාළිකාවේ 36 වැනි සංවත්සරය දා පැවැති සුහද හමුවේදී ඔබ යාන්ස් කීපයකුත් කිව්වා. හැබැයි ඊට පෙර ඔබ ප්‍රකාශ කළා ‘අපේ සමහර කලාකරුවන්ට මේ යාන්ස් තේරෙයිද දන්නේ නෑ. මොකද ඔවුන් හරියට ටියුබ් ලයිට් වගේ’ කියලා?

ඔව්. නළු, නිළියෝ පමණක් නෙවේ, සාමාන්‍යය ජනතාව පවා විහිළු දන්නේ නෑ. ඒක තමයි හැම තිස්සෙම මූණ බුකව ගෙන හිනා වෙන්නේ නැතිව ඔහේ බලාගෙන ඉන්නේ භූතයෝ වගේ. යමක් කිව්වත් හිනා වෙන්නේ නෑ. දැන් අවුරුදු පහළොවක් විතර තිස්සේ මේ බුකවගෙන ඉන්න එක, මූණ පුම්බගෙන ඉන්න එක අපිට පුරුදු වෙලා තියෙන්නේ. තරහා යන එක තමයි බොහෝ වෙලාවට වෙන්නේ. අන්න ඒ හින්දම තමයි මම හිතුවේ මේ යාන්ස් වගේ දෙයක් මේ රටේ මිනිස්සුන්ට පුරුදු කරන්න.

එහෙම මූණ පුම්බගෙන, බුම්බගෙන ඉන්න පිරිසක් හිනාගස්සන්න පුළුවන් වෙයිද?

එහෙම කරගෙන, කරගෙන යනකොට මිනිස්සු බලයිනේ මොකක්ද කරන්නේ කියලා. අඩු ගානේ මට මේ වැඩේ කරන්න අවසර දුන්නා මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක ස්වාධීන රූපවාහිනියේ සභාපතිතුමා. ඔහුට මේක තෝරා ගැනීමට ශක්තිය තිබුණා. මම හිතන්නේ හුඟක් රූපවාහිනී ආයතනවල ලොක්කන්ටත් නෑ විහිළුවක් අහලා රස විඳීමේ ශක්තියක්.

අද සමාජයට විහිළු සපයන වැඩසටහන් තියෙනවා. එහෙම කලා ශිල්පීන්, කතාකරුවන් ඉන්නවා. නමුත් ඇත්තටම බලපුවාම ඒ විහිළුවලට හිනා යන්නේ නෑ තමයි. දැන් ඔබේ විහිළුවලට කුමන ඉරණමක් අත්වෙයිද?

මම විහිළු කරනවා කියලා මම කියන්නේ නැහැ. යාන් එකක් කියන්නේ හුදෙක් විහිළුවක්ම නෙවෙයි. විහිළු කරන්න පුළුවන්නේ ඕනෑ කෙනෙකුට. එහෙම අය ඕනෑතරම් ඉන්නවා. මේ ජීවිතේම අපි නොදකින පැත්තක් දිහා අපි වෙන විදිහකට බලනවා. උදාහරණයක් කිව්වොත්, කපුටාගේ කටේ කේජු කෑල්ලක් තියෙනවා. නරියා යට ඉඳන් විශාල වර්ණනාවක් කරනවා. පරණ කතාවේ හැටියට නම් කපුටා කාක්, කාක් කියන කොට කේජු කෑල්ල බිම වැටෙනවා. නමුත් අලුත් කතාවේ හැටියට කපුටා කාක්, කාක් කියන්නේ නෑ. කපුටා කේජු කෑල්ල අරන් අත්ත උඩින් තියලා කකුලකින් ඒක තද කරගෙක කියනවා ‘නරියෝ මම කොළඹ කාක්කෙක්’ කියලා.

එතකොට ඒක යාන් එකක්?

අන්න බලන්න එතකොට ඒක යාන් එකක්. එහි හාස්‍ය රසයක් තියෙනවා. අනෙක ජීවිතය ගැන විශාල පාඩමක් කියලා දෙනවානේ. නිකම්ම නික්ම් විහිළුවක් නෙවේ. මං කියන්නේ අන්න ඒ දෙකම යාන් එකකින් දෙන්න පුළුවන්. අනෙක් එක මේ යාන්ස් කවුද හදන්නේ. හැමෝම අහන දෙයක් නේ කවුද ඒ යාන් එක හැදුවේ කියලා. ඒකට නියම පිළිතුර තමයි යාන් එක හදන්නේත් දෙවියන් වහන්සේ තමයි. මේ ලෝකේ මැව්වේ දෙවියන් වහන්සේ නම් මේ යාන් එකක හදන්නේ එයා. හදලා මනුස්ස ලෝකට එවනවා. ඉතිං ඒක අහලා සන්තෝස වෙන කෙනා බුද්ධිමතා. තරහා යන කෙනා මෝඩයා.

දෙවියන්ට අමතරව ඔබ විසිනුත් යාන්ස් නිර්මාණය කර ගන්න එපායැ. කොහාමද ඒක කරන්නේ?

තවත් යාන්ස් කියන අය ගොඩක් ඉන්නවා ලංකාවේ. මේ අපේ ෆීල්ඩ් එකෙත් ඉන්නවා. ඉතින් ඒ අයත් එක්ක අදහස් හුවමාරු කර ගන්න කොට එයාලත් මට යාන්ස් කියනවා. ඒවා මම කොහේ හරි සටහන් කරගෙන ඒවා මගේ කරගෙන තමයි නැවත කියන්නේ. මම කියන දෙයක් හැටියට එහෙන් මෙහෙන් තව ආල වට්ටම් දාලා මේක කියනවා. එහෙම නැතිව ඉතිං මටම හදන්න අමාරුයි සේරම.

අන්තර් ජාලයේ පවා අද යාන්ස් තියෙනවා?

ඔව්, මමත් ඒවා බලනවා. හැබැයි ඉංග්‍රීසි බසින් තියෙන ඒවා බොහොමයක් අපට ගන්න අමාරුයි. වෙන ඉඩියම් එකක්නේ තියෙන්නේ. වෙන ක්‍රමයක්. අපේ සමාජ සැකැස්මට වඩා වෙනස් සමාජ සැකැස්මක් ඒ රටවල තියෙන්නේ.

නමුත් ඊසොප්ගේ උපමා කතා අපටත් ගැළපෙනවා?

ඊසොප්ගේ උපමා කතා ගන්න පුළුවන්. නසුරුදීන්ගේ කතා අපට ගන්න පුළුවන්. මම ඒ වගේ ඒවත් කියනවා. කෙලින්ම මේ මිනිස්සු කියන ඒවාම නෙවේ. සද්ධර්ම රත්නාවලියේ ධර්මසේන හාමුදුරුවෝ කියපු ‘චුල්ලතිස්ස වස්තුව‘ත් මම යාන්ස්වලට කියන්න බලාපොරොත්තු වෙනවා.

වලියටත් බර, සොමියටත් බර පොරක් විදිහටයි ඩබ්ලිව්. ජයසිරි ගැන එක්තරා කාලෙක මම අසා තිබුණේ. ඒත් දැන් නම් ටිකක් තැන්පත් ජීවිතයක් වගෙයි ගත කරන්නේ?

ඉස්සර වගේ නෙවේ ඉතිං කාලයක් යන කොට ඕනෑම කෙනෙකුගේ සිතුම් පැතුම් වෙනස් වෙනවානේ. ක්‍රියා කලාපයත් එහෙමයි. දැන් මට අවුරුදු හැට අටක් වෙනවා. තරුණ ළමයි දෙන්නෙක් ඉන්නවා. ජීවිතේ එහෙම තමයි ඉතිං. කාලාන්තරයක් යන කොට ජීවිතේ පිළිවෙලක් වෙනවා. තවමත් හැබැයි කටට එන ඒවා කියනවා කියලා බැණුම් අහන වෙලාවලුත් තියෙනවා. ඒ පුරුද්ද අත්හරින්න අමාරුයි. කොහොම වුණත් ඉස්සර තරම් නෑ. ඉතින් පොඩ්ඩක් විනයක් තියෙනවා දැන් ජීවිතේ.

මතකද කලකට පෙර ‘සිරස’ ගුවන් විදුලියේ ‘කුරුබිලිය’ වැඩ සටහනට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය?

ඔව්, නැතුව. ‘කුරුබිලිය’ වැඩ සටහනකින් කිංස්ලි රත්නායක තමයි මගෙන් ඇහුවේ ඔබ ජීවිතේ වැඩියෙන්ම කැමැති තැන සහ කරන්න කැමැති දේ මොකක්ද කියලා. මම කියනවා ‘ශ්‍රී මහා බෝධිය යට බොහෝම සුන්දර වෙලාවක පොඩි අඩියක් ගහන්න ආසයි’ කියලා. ඉතිං ඒකෙන් මම අදහස් කළේ බුද්ධාගමට හිංසා කිරීමවත්, හත් අට දෙනෙක් එක්ක එතනට ගිහින් බීලා සිංදු කිය, කියා නටන එකවත් නෙවේ. මම තනියම කරන්න අසා දෙයක් ඒ කිව්වේ. ඉතින් ඒක කවුරු හරි වරදවා තේරුම් ගත්තා නම් මට කරන්න දෙයක් නෑ. නමුත් එදා ඒකට විරුද්ධව ඔය කතා කරපු කී දෙනෙක් බෝ ගස් යට බොනවා ඇද්ද?

එතකොට ඒ ප්‍රකාශය අදටත් වලංගුයි?

ඔව්, ඔව්. ඒක අදටත් වලංගුයි. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඒක ඉල්ලා අස් කරගෙන නෑ.

සංවාදය – අසංක දේවමිත්‍ර පෙරේරා- සරසවිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here