ශ්‍රී ලංකාවේ බස් අනතුරු : “SMART” රියදුරෙකු දකින්නේ කවදා ද?

0
281

යුද සමය හා සසඳන විට වැඩි පිරිසක් රිය අනතුරු නිසා වාර්ෂිකව අකාලයේ මහ මග සිය ජීවිතයෙන් වන්දි ගෙවන බව මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව පවසා තිබිණි.

කෙතරම් නීති සම්පාදනය කළත් පොදු මගී සේවය ආශ්‍රිතව දිනෙන් දින වාර්තාවන අනතුරු සංඛ්‍යාවෙහි ප්‍රමාණාත්මක අඩුවීමක් නොමැති බව ඒ පිළිබඳ සමීක්ෂණ කළ විෂය ප්‍රවීණයෝ ද පෙන්වා දෙති.

තත්වය පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාවට නැංවිය යුතු “විද්‍යාත්මක ක්‍රමවේදයක්” කෙරෙහි අවධානය යොමුකළ පර්යේෂකයින් “සහසර” නමින් නියමු ව්‍යාපෘතියකට ඉකුත් වසරේ මුල පුරන ලදී.

එහි සාර්ථකත්වය මත එම නියමු ව්‍යාපෘතිය දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

මාරක බස් රථ අනතුරු පාලනය, ගමන්වාර තරගය දුරු කිරීම , රියදුරු වෘත්තීමය ස්වභාව වැඩි දියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණු අතර වේ.

_108388425_eeeeee

“සහසර” යනු කුමක්ද ?

ලංගම සහ පෞද්ගලික මගී බස්රථ 30 000 සක් පමණ මෙරට මාර්ගවල ධාවනය කෙරේ.

ඒ අතරින් පෞද්ගලික අංශයේ බස් කර්මාන්තය සැළකීමේදී වැඩි ගමන් වාර ප්‍රමාණයක් ලබා ගැනීම වෙනුවෙන් උත්සුක වන රියදුරන් මාර්ග නීති සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකිරීම මෙන්ම ඒ සඳහා පවතින නීති ලිහිල් වීම මාරක අනතුරු සඳහා මූලික හේතුව බවට සමීක්ෂණ රැසකින් අනාවරණ කරගෙන තිබේ.

“සහසර” ව්‍යාපෘතිය හඳුන්වාදීමට මුල් වූ මහාමාර්ග අමාත්‍යංශයේ උපදේශක මහාචාර්ය අමල් කුමාරගේ පෙන්වාදෙන්නේ රියදුරුවරයාගේ වෘත්තීමය ස්වභාවයේ පවතින දුර්වලතා මෙන්ම අනතුරු පාලනය සම්බන්ධයෙන් විද්‍යාත්මකව මැදිහත් නොවීම යළි යළිත් අනතුරු සිදුවීමට හේතු බව බවය.

 මහාචාර්ය අමල් කුමාරගේ
මහාචාර්ය අමල් කුමාරගේ

” අනතුරක් සිදුවුණාම අපේ රටේ ඒ ගැන විද්‍යාත්මක සොයාබැලීමක් නෑ. අනතුරකට බලපාන සියලු කරුණු විශ්ලේෂණය කර නිගමනයකට පැමිණීම එහි විද්‍යාත්මක ක්‍රමවේදය ලෙස අර්ථගන්වන්න පුළුවන්. එතැනදී වරද කාගේද විතරක් නෙවි මාර්ගයේ ස්වභාවය, රියදුරු මානසික මට්ටම මෙන්ම තවත් කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කරනවා.මේ දේ නොකර යළි යළිත් සිදුවන අනතුරු අවම කරන්න බෑ. “සහසර” තුළ මේ සෑම අංශයක්ම අධීක්ෂණය කෙරෙනවා” මහාචාර්යවරයා පැවසීය.

ඔහු පෙන්වා දෙන පරිදි “සහසර” බොහෝ යුරෝපා රටවල පොදු මගී ප්‍රවාහනයේදී භාවිතයට ගන්නා ක්‍රමවේදයට සම වුවකි.

මෙහිදී මගියා සහ බස්රථ හිමියා අතර සිදුවන මුල්‍ය ගණුදෙනුව වෙනුවට ඒ වෙනුවෙන් විශේෂයෙන් පිහිටවූ ආයතනයක් සමග මගියා මුල්‍ය ගණුදෙනුවක යෙදෙයි.

පුර්ණ රාජ්‍ය ආයතනයක් වන එය සහ මගියා අතර මුදල් හුවමාරුවෙන් ලැබෙන ආදායමින් බස් හිමියාට මුදල් ගෙවීම කෙරේ.

ධාවනය වන කිලෝමීටර ගණනට බස් හිමියාට මුදල් ගෙවීම නිසා බස් රිය වාර ගණනක් සම්පුර්ණ කිරීමේ තරගයෙන් නිදහස් කිරීම පළමු අපේක්ෂාව ය.

වසරකට පෙර මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කළ නියමු ව්‍යාපෘතියෙන් පෙන්වා දුන් පරිදි මගීන්ට පොදු ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේ දී ගතවන කාලය 30%කින් අඩු වී ඇත.

ලංකා ගමනාගමන මණ්ඩලය හා සාකච්ඡා කරමින් මෙම වැඩසටහන සඳහා ගමනාගමන මණ්ඩලය ද එක් කරගැනීමට ඉදිරියේ දී කටයුතු කරන අතර ම පළාත් මාර්ග සංවර්ධන අධිකාරි හා සම්බන්ධ වෙමින් රටේ සෙසු පළාත් වෙත ද මෙම වැඩපිළිවෙළ ප්‍රචලිත කිරීමට ද සැලසුම් කොට තිබේ.

SMART CARD හදුන්වාදීම

_108383425_a4a1440eb7d63e42ae6efaea76d6970b_xl

මේ ව්‍යාපෘතියේදී බටහිර රටවල් පොදු ප්‍රවාහනයේදී භාවිත කරන සුහුරුපත් ( SMART CARD ) සංකල්පය ක්‍රියාවට නැංවේ.

මගියාට තම ගමනාන්තයට අදාළ පොදු මිලක් නියම කෙරෙන අතර බස් රථ මෙන්ම ඉදිරියේදී දුම්රිය සේවය සඳහා ද භාවිත කිරීමට හැකිවන අයුරින් එම කාඩ් පත් නිර්මාණය කර තිබේ.

මහාචාර්ය අමල් කුමාරගේ පවසන්නේ මීට අදාළ ව්‍යාපාරික රාමුව මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇති බවය.

බස් රථ රියදුරු සවිමත් කළ යුතු ඇයි ?

මාර්ග ආරක්ෂණ ජාතික සභාවට අනූව සෑම පැය තුනකට වරක් රිය අනතුරු නිසා එක් පුද්ගලයෙක් ශ්‍රී ලංකාව තුළ මිය යන අතර වසරකට එවැනි මරණ 3100 කි.

යතුරු පැදි අනතුරු හැරුණුවිට මේ අතරින් ප්‍රමුඛ වන්නේ මගී ප්‍රවාහන බස් රථ ආශ්‍රිත අනතුරු ය.

_108383426_5cc86927-e0fe-4e12-9eea-1d2b97ca5f08

” අයිස්, කේරළ ගංජා , විවිධ පෙති පානය කරලා බස් ධාවනය කරනවා. දුර ගමන් සේවා බස් රථ අතරමග කෑමට නවතන කඩ හිමියෝ මේ රියදුරන්ට මත්ද්‍රව්‍ය සපයනවා. වසරකට මරණ 300 විතර වාර්තා වෙනවා බස්රථ අනතුරුවලින් .” මාර්ග ආරක්ෂණ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ බීබීසී සිංහල සේවයට පැවසීය.

 

 සිසිර කෝදාගොඩ - සභාපති - මාර්ග ආරක්ෂණ ජාතික සභාව
සිසිර කෝදාගොඩ – සභාපති – මාර්ග ආරක්ෂණ ජාතික සභාව

මේ චෝදනා සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මෙලෙස ප්‍රතිචාර දක්වයි.

“මේ චෝදනාව මම පිළිගන්නවා . හැබැයි ඇයි එහෙම වෙන්නේ කියලත් බලන්න ඕන . බස් ධාවනයට විධිමත් කාලසටහනක් නැති නිසා එක ධාවන වරයකින් පස්සේ රියදුරන් කල්ලි ගැසෙනවා. එකෙන් වෙන්නේ මත් පැන්, ගංජා , මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වීම. මේ තත්වය නවත්වන්න අහුවෙන අහුවෙන කෙනා හිරේ දාලා හරියන්නේ නෑ.” ඔහු පැහැදිළි කරන්නේය.

මේ පිළිබඳ කළ විමසීමට මහාචාර්ය කුමාරගේ දුන් ප්‍රතිචාරය මෙබඳුය.

අපේ රටේ බස් රියදුරකු සහ කොන්දස්තරවරයකුගේ ක්‍රියා කළාපය බලන්න. ඔවුන් සැමවිටම කෝපයෙන්. අනිත් රථය තමා පරයා යාවී යන බියෙන්. බස්රථය නවතුම්පොලක නවත්වා මගියා බහින්නටත් පෙර යළි ගමන් කරවීමේ තදියමින්. මගීන්ට කිසිදු ගරු සරුවක් නැහැ. මේ වගේ රියදුරෙක් අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කළත් යළි මේ තත්වයෙන් මිදෙන්න පාර කැපීමක් නැහැ. පොලිසියේ උත්සාහය නඩු දමන්න විතරයි. යුරෝපා රටක පොදු බස්රථයක් දුටුවොත් එහි රියදුරා ටයි පටියක් පැළඳ උදෑසන සිනහමුසු මුහුණින් ඔබට ආචාර කරමින් රිය නවත්වා ඔබ රථයට ඇතුල් කරගනී. ඔබත් ඔහුට වෘත්තීය ගරුත්වයක් ඇතිව ප්‍රතිචාර දක්වයි. ඒ තත්වයයි අපට අවශ්‍ය”

මේ වෙනස්වීමට පෞද්ගලික බස් රථ කර්මාන්තය අනුගත කරගත හැකිද යන්න ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයාගෙන් විමසීය.

“මේ වැඩසටහනට අපි පුර්ණ සහය දෙනවා. අපිටත් අවශ්‍යයි මේ සමාජයේ වෙනත් අයට ලැබෙන ගෞරවය ලබාගන්න. එතැනදී අපි පිළිගන්නවා අපෙනුත් ඒ හා සමාන ගෞරවයක් මගියාට ලැබෙන්න ඕන. ඒ වගේම අපි රජයට ප්‍රකාශ කළා පරණ බස් රථ සමග මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපහසුයි කියන දෙය. රජය කල් නොයවා මේ ව්‍යාපෘතියට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කලයුතුයි. අපි එකඟයි මේ ව්‍යාපෘතියට. ඔහු පැවසීය.

ශ්‍රී ලංකා මාර්ග ආරක්ෂණ ජාතික සභාවට අනුව ශ්‍රී ලංකාවේ ධාවනය වන පෞද්ගලික බස්රථ සඳහා ප්‍රමාණවත් රියදුරෝ නොවෙති. මේ නිසා බරවාහන පැදවීමේ බලපත් නොමැති, නිසි පුහුණුවක් නොලැබූ රියදුරන් ද සේවයට එක්වී ඇති බව එම සභාව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොලිසියට අනුව මගී බස් රථ අනතුරු සඳහා බලපාන හේතු කිහිපයකි

• හික්මීම නොමැතිකම

•නොසැළකිලිමත් රිය ධාවනය

•අධික ලෙස තෙහෙට්ටුවට පත්ව සිටියදී රිය ධාවනය වැනි හේතු ඒ අතර වේ.

” අපි ප්‍රායෝගිකව කිසි දෙයක් ආදේශ කරලා වැඩක් නෑ රියදුරු මානසිකව සහ ශාරීරිකව ශක්තිමත් නොකර. බොහෝ බස් රථ රියදුරන් පමණ ඉක්මවා සේවයේ යෙදෙනවා. අධික කෝපය සහ තෙහෙට්ටුව අනතුරු වලට හේතුවක්. දැන් ගුවන් යානයක් පදවන කෙනාට ඊට පෙර දිනයේ සාද තහනම්. නමුත් අපේ බස්රථ රියදුරන් සම්බන්ධයෙන් එහෙම නියාමනයක් නෑ. බස් හිමියන් බලන්නේ ඔවුන්ව හැකිතරම් සේවයේ යොදවා මුදල් උපයන්න. මේ තත්වය වෙනස් වියයුතුයි. අපි ඒ සඳහා නව නීති සැකසී තිබෙනවා”. මහාචාර්ය කුමාරගේ පෙන්වා දෙයි.

මේ රජය ආරම්භයේදී ගෙන ආ ඇතැම් යෝජනා ක්‍රියාත්මක කිරීම තවමත් මන්දගාමී මුහුණුවරකින් පැවතීම කණගාටුවට කරුණක් බව පෙන්වා දුන් මහාචාර්ය අමල් කුමාරගේ,

“ස්වීඩන් රජය ගෙනාවා VISION ZERO කියන සංකල්පය. රජය අනතුරක් සිදුවුණාම විශේෂ කණ්ඩායමක් යවල නැවත එම අනතුර සිදු නොවීමට හේතු අධ්‍යනය කළා. ඔවුන් මහ මග ජීවිත නැතිවෙන එක අපරාධයක් ලෙස දුටුවේ. ඒ රටේ පොලීසිය රියදුරාව කූඩුවට යවන්නේ කොහොමද කියන දේට වඩා දෙයක් කල්පනා කළා. රජය ඉක්මන් තීරණ ගත්තා. අපි මොන සමීක්ෂණ කරලා මොන වාර්තා හැදුවත් එය තාම ක්‍රියාත්මක තලයට එන්නේ නැතිනම් මේ රට ඉදිරියට යන්නේ නෑ” යැයි පැවසීය.

 

 

(www.bbc.com/sinhala)