ශ්‍රීලනිප ඉල්ලීම කුණු කුඩේට ! ගෝඨා පොහොට්ටුව ලකුණෙන් පමණයි !

0
235
කුමන හේතුවක් නිසා හෝ කුමන බලපෑමක් නිසා හෝ ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ වෙනස් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසයි.
බැසිල්වාදීයකු වන ඔහු එම කාරණය අවධාරණය කර සිටියේ, ඊයේ (10දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

“කුමන හේතුවක් නිසාවත් පොහොට්ටුවේ ලකුණ වෙනස් කරන්න අපි කැමැති වෙන්නේ නැහැ. පොහොට්ටුව කියලා කියන්නේ මේ රටේ ජනතාව ජයග්‍රහණය කරවන සලකුණක්. ඒ නිසා මොන විදිහේ බලපෑම් ආවත් මොනවිදිහේ තත්ත්වයන් උදා වුණත් පොහොට්ටුව ලකුණ වෙනස් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.” යයි ඔහු එහිදී අවධාරණය කළේය.
මහින්ද යාපා අබේවර්ධන එබව සඳහන් කර කළේ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පසුගියදා කර තිබු ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වන්නේ නම් පොදු ලකුණක් අනිවාර්යයෙන්ම තීරණය කළ යුතුබවත් එසේ නොවන්නේ නම් විකල්ප තීරණයක් ගැනීමට සිදුවන බවත් නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අවධාරණය කරයි.

හඬපටය (දයාසිරි)


ශ්‍රීලනිපය නැතත් අපි දිනනවා – ශෙහාන්

ඒ අතර ‘පොහොට්ටුවේ’ පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ පවසන්නේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහයක් නොලැබුනද ගෝඨාබය රාජපක්ෂ ජය ගන්නා බවයි.

කෙසේවුවද බැසිල් විරෝධියකු ලෙස සැලකෙන ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසන්නේ, එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ තරග වදින ලකුණ පිළිබඳ කිසිඳු ගැටලූවක් ඇති කර ගතයුතු නොමැති බවයි.  තරගවදින ලකුණ වැනි සුළු ගැටලූවක් මුල්කර ගනිමින් ගැටලුවක් ඇති කරගත යුතු නැති බව ඔහු පෙන්වා දෙයි.

ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟත්වයක් ඇතිකර ගැනීම සඳහා මේවනවිට අවස්ථා 08 කදී දෙපාර්ශවයේ නියෝජිතයින් සාකච්ඡා පවත්වා ඇත.

ඒ සම්බන්ධයෙන් ශ්‍රීලනිප වත්මන් භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී  ලසන්ත අලගියවන්න පැවසුයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ජා අසාර්ථක වන්නේනම්, ඊට විකල්පයක් ලෙස ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ධූර අපේක්ෂකයෙකු නම් කිරීමට තීරණය කර ඇති බවයි.

ඔහු කියා සිටියේ එම සාකච්ඡා සාර්ථකවුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය වෙනස් වනු ඇති බවයි.

හඬපටය

theleader.lk