සජිත් අකමැතිම ප්‍රශ්ණය ???

0
77

sajith_premadasaඋතුරු පළාත් සභාවේ මැතිවරණ ප්‍රතිඵලය සමස්ථ සිංහල සමාජයට, එය නියෝජනය කරන දේශපාල පක්ෂවලට හා පුද්ගලයන්ට බොහෝ පාඩම් රැසක් ඉතිරි කර දී ඇත.
(ඉගන ගන්නවා නම්)
උතුරේ මැතිවරණ ජයග්‍රහණය පළාත් සභා මැතිවරණයකට වඩා එහා ගිය එකකි. විශේෂයෙන් උතුරේ ජීවත්වන දමිළ ජනතාව එය භාරගෙන තිබෙන්නේ පළාත් සභා මැතිවරණයකට එහා ගිය තැනක සිටය. එය ඔවුන් බාරගනු ලබන්නේ තමන්ගේ ජාතික අනන්‍යතාවය තහවුරු කර ගන්නා මැතිවරණයක් ලෙසය.
ඊට බලපාන හේතු ගණනාවකි.

වසර 30 ක පමණ කාලයක් දිග්ගැස්සුනු අති බිහිසුනු යුද්ධයක් වෙනුවෙන් තම සියළු දේ පරිත්‍යාග කළ ජනතාවක් ලෙස ඔවුන් මුහුණ දෙන ප්‍රථම ඡන්දය වීමත්, යුද්ධය අවසන් වී වසර 4ක් ගෙවී ගොස් තිබුණද තම ප්‍රශ්නවලට තමන් බලාපොරොත්තු වන විසදුමක් නොලැබුණු ජනතාවක් ලෙසත්, ඔවුන් මෙම මැතිවරණය තීරණාත්මක මැතිවරණයක් ලෙස භාරගෙන තිබේ.
එනිසා ඔවුන්ට අනුව මෙය පළාත් සභාවට එහා යන මැතිවරණයකි.

දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප්‍රකාශනයෙන්ම එය තහවුරු කර තිබුණි. එයින් ඔවුන් වඩාත් අවධාරණය කර තිබුණේ පළාත් සභාවකට අදාළ ප්‍රශ්නවලට වඩා ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය හා බැදුණු ප්‍රශ්නත් සමගය.
එම මැතිවරණ ප්‍රකාශය දුටු වහාම දකණේ සිංහල අනන්‍යතාවය හා බැදුණු දේශපාලන පක්ෂ හා පුද්ගලයන් ඊට ප්‍රතිචාර දැක්වුයේද ඒවා පළාත් සභාවේ ප්‍රශ්න ලෙස භාර ගෙන නොවේ.
නැවත වතාවක් රට බෙදෙන මහා භයානක තත්වයක් ලෙස තේරුම් ගෙනය. කෙසේ හෝ මැතිවරණ ප්‍රතිඵලයට අනුව මහින්ද රජපක්ෂ විපක්ෂයේ හිඳවා උතුරේදී දමිළයාගේ ප්‍රශ්නය ජයග්‍රහණය කරවා ඇත. අප තේරුම් ගතයුතු යථාර්ථය එයයි.

මෙම තත්වය මත විශේෂයෙන් දකුණේ සමාජයට හිතන්නට ඉතිරි කර ඇති පාඩම් මොනවාද? එහි පළමු පාඩම නම් උතරේ ජනතාව ඉතා වේගයෙන් දේශපාලනය තේරුම් ගනිමින් සහ ඊට අදාළව ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි. මා එසේ කියන්නේ ඊට අදාල දර්ශකයන් රාශියක් තිබෙන නිසාය. ඔවුන් ඔවුන්ගේ ප්‍රශ්නය සෘජුවම ප්‍රකාශ කර තිබේ.
(දමිළ අනන්‍යතාවය, ස්වයංතීරණ අයිතිය)දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප්‍රකාශය එහි පිළිබිඹුවයි.
ඊට සමගාමීව තම මහඇමති වරයා තෝරා ගැනීමේ සිට ඔවුන් සාධනීය පියවරයන් ගණනාවකින් ඉදිරියට පැමිණ තිබේ.
ඊට හොඳම නිදසුන නම් තම ජයග්‍රහණයෙන් පසු විග්නේශ්වරන් මහතා විසින් ප්‍රකාශ කර සිටින්නේ තමන් නීතියට පිටින් කිසිවක් නොකරන බවයි.
රජය සමඟ තමන්ගේ ප්‍රශ්න විවෘතව සාකච්ඡා කරන බවත් රජය ඊට ඇහුම්කන් නොදෙන්නේ නම් තමන් විකල්ප ක්‍රියාමාර්ගවලට යන බවත්ය.

අප දකුණේ මැතිවරණ ව්‍යාපාරය දෙස බැලූවහොත් එහි තිබෙන්නේ දේශපාලනය නොවේ. පෞද්ගලික ලාභ ප්‍රයෝජනය තකා මේ පක්ෂෙන් අනික් පක්ෂයට පනින ප්‍රශ්න, දයාසිරිද ජොහාන්ද? නොමිලේ අරක්කු, දන්සැල්, සහ කුඩු වැනි ප්‍රශ්නයි.
මේවා දේශපාලනය නොවේ.
මෙම ප්‍රශ්න ටික හමුවේ දිග හැරෙන ජනමාධ්‍ය ජවනිකාව දෙස තුෂ්නිම්භූතව බකන්නිලාගෙන බලා සිටින ජනතාවට තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නය,ප්‍රාදේශීය ප්‍රශ්න, රටේ ප්‍රශ්නය අමතක වී කුඩු කෑ පුද්ගලයන් මෙන් බලය ඇති එකා දෙස බලා තම ඡන්දය වෛශ්‍යා වෘත්තියේ යොදවා ඇත.
වෛශ්‍යාවන් එක වැඩක් අවසන් කර අනෙක් වැඬේ සඳහා පුද්ගලයෙකු පැමිණෙන තෙක් බලා සිටිනවා මෙන්, දැන් වයඹ ඡන්ද කෑල්ල අවසන් වී බස්නාහිර හා දකුණේ ඡන්ද කෑල්ල එනතුරු බලා සිටී.

මෙය දේශපාලනයද?

අනෙක් අතට මහින්ද රාජපක්ෂ රාජ්‍ය නායකයා ලෙස පෙනී හිදිමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කරන හානිය සුළුපටු නොවේ. ඔහු විපක්ෂ දේශපාලන සම්පූර්ණයෙන් විනාශ කරමින් සිටී. විපක්ෂයේ දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සාධකයකි. නමුත් ඔහු කරන්නේ එය විනාශ කිරීමයි.
වයඹ ඡන්ද කෑල්ලට දයාසිරි ගත්තාක් මෙන් අනෙක් ඡන්ද කෑලිවලටද එසේ කරනු ඇත. එසේ කරමින් ඔහු අල්ජසීරාවට කියන්නේ අපේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් කියාය.

ඇත්තෙන්ම මෙය දේශපාලනයද?

මේ තත්වයන් හමුවේ දකුණේ ජනතාව තේරුම් ගත යුතු දෙය නම් දැන් ප්‍රශ්නය යුද්ධය පැවති තත්වයට වඩා බරපතල බවයි. යුද්ධයේදී මරා දැමීමෙන් ප්‍රශ්නය යටපත් කළ හැක.
නමුත් දැන් උතුරේ ජනතාව දේශපාලනය කිරීමට පටන් ගෙන තිබේ. දේශපාලනයේදී ප්‍රශ්න යට ගැසීම ලෙහෙසි නැත.
එය විශේෂයෙන් දමිළ ජනතාව සමඟ ලෙහෙසි නැත.
මන්ද යත් වසර 30ක යුද්ධයකට තම සියල්ල දන්දුන් ජනතාවක් ලෙසම එවැනිම ආකාරයේ දේශපාලන වෙනසකට දැන් ඔවුන් මුල පුරා ඇත. ඔවුන් මේ බල කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්නය මත හිට ගනිමින් සමස්ථ රටේම දේශපාලන වෙනසකටය.
සිංහල ජනතාවට වහකඳුරු වුවත් මීට ඇත්තේ ෆෙඩරල් ආකාරයේ විසදුමකි. ෆෙඩරල් යනු රට බෙදිමක් නොවේ. එය ප්‍රාදේශීය දේශපාලන බලය වඩාත් තහවුරු කරන ක්‍රමවේදයකි. කිසියම් ප්‍රාදේශීය ඒකකයක් තම සීමාවට එහා කටයුතු කරන්නේ නම් ඒවා පාලනය කළ හැකි ෆෙඩරල් ව්‍යවස්ථාවක් අප සකසා ගත යුතුය. ෆෙඩරල් ක්‍රමයෙන් රට බෙදෙනවා යැයි කියන්නේ ඒ පිළිබඳ නොදන්නා, ෆෙඩරල් යන්න ඇසුණු ගමන් ජනතාව බය කිරීමට තුරුම්පුවක් ලෙස යොදා ගන්නා පිරිසක් පමණි. කෙසේ නමුත් ෆෙඩරල් ආකාරයේ විසදුමක් උතුරට පමණක් නොව දකුණටද ඉතා අත්‍යවශ්‍යය. එහෙයින් දේශපාලන බලය බෙදා හදා ගැනෙන සම්මුතිවාදී දේශපාලනයකට නොගිය හොත් යුද්ධයෙන් උත්සහ කරාටත් වඩා ඉතා පහසු ලෙස උතුරේ ජනතාව තම සීමා ඉර අදිනු ඇත.

උතුරට සාපේක්ෂව මහින්ද විපක්ෂයේ හිඳවූවා වුවද දකුණේ විපක්ෂ නායකා කටු ඉඹුලේ ඉන්දවීම දකුණේ ඇති අනෙක් දේශපාලන ඛේදවාචකයයි. එජාපයෙන් පනින එවුන් සියළු දෙනාම කියන්නේ රනිල්ට බෑ, රනිල් එක්ක බෑ කියාය. පක්ෂය ඇතුලේ සිටින අය කියන්නේද රනිල්ට බෑ, රනිල් එක්ක බෑ කියාය.

මෙය මහින්ද රාජපක්ෂගේ සුවිශේෂී දේශපාලනයේ එක කොටසක් ලෙස ඔවුන් තේරුම් නොගනී. එනිසා දැන් රනිල් ඉන්නේ කටු ඉඹුලේය. කෙසේ හෝ රනිල්ට සාපේක්ෂව විකල්පය ලෙස ඉදිරිපත් කරන්නේ සජිත්ය.

සජිත් කියන්නේද තමන්ට පක්ෂ නායකකම දුන්නහොත් පක්ෂය දිනවන බවය. පක්ෂය දිනවනවාද පරදිනවාද කියන එක ඔහුගේ තක්සේරුවය. නමුත් බැලූ බැල්මට පෙනෙන්ට තිබෙන්නේ මහින්දගේ දේශපාලනය සමඟ සජිත්ට විජ්ජා පෙන්විය නොහැකි බවයි.
සජිත් නායකයා වූ සැනින් මේ පැත්තෙන් ඒ පැත්තට පැන්න වූන් ආපසු එනවාද? මහින්ද රාජපක්ෂ විශ්වාස කරගෙන සිටින ජනතාව මහින්ද එපා කියා සජිත් දෙසට හැරෙනවාද? මේවා පිළිබඳ සජිත් ගනන් හදන්නේ කෙසේද යන්න අප නොදනී. කෙසේ නමුත් සජිත්ට නායකත්වය ලැබුණ හොත් ඔහු එවිට ප්‍රධාන විපක්ෂයේ නායකයා බවට පත්වන නිසා පක්ෂ නායක කම ගන්නට කලින් අප සජිත්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබේ.

ඉන් ප්‍රධාන ප්‍රශ්නය නම් රටේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිපත්තිය කුමක්ද?
ඔහු ඒ පිළිබඳ පැහැදිලි ප්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කරනවා අප අසා නැත.
ඒ සම්බන්ධයෙන් රනිල් ඉන්නේ සජිත්ට වඩා ඉදිරියෙනි.
ඔහු 2002 වසරේදී ෆෙඩරල් ආකාරයේ විසදුමකට යාමට කැමැත්තක් පෙන්වා තිබේ. (එවැනි විසදුමකට ගියා නම් අද මෙවන් ආකාරයේ ජීවිත විනාශයක් වළක්වා ගැනීමට හැකියාව තිබුණි.)

දෙවන ප්‍රශ්නය නම් යුද ගැටුම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඔබගේ ප්‍රතිපත්තිය කුමක්ද?

සජිත්ට මෙම ප්‍රශ්න බැහැර කළ හැකි ප්‍රශ්න නොවේ. මන්ද මේ වන විටත් සමාජයේ විවිධ කොටස් වලින් සහ අන්තර්ජාතික ප‍්‍රජාවෙන් මතුවන නිසාය. යුද්ධය අවසන් වූ සමයේ සජිත්ගේ ප‍්‍රකාශත්, එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම් සම්බන්ධයෙන් සජිත්ගේ ප්‍රකාශ දෙස බලනවිට ඔහුගේ ස්ථාවරය පැහැදිලි නැත. එනිසා ඔහු එය රටට පැහැදිලි කළ යුතුය.

තුන්වෙනි කාරණය නම් මහින්ද රාජපක්ෂ රජය පරාජය කිරීමට විපක්ෂයේ සියළු පක්ෂ හා මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධ පුද්ගලයන් හා සංවිධාන පොදු විපක්ෂ සන්ධානයකට ඔබගේ ඇති උනන්දුව කුමක්ද? පසුගිය කාලයේ බැලූ බැල්මට පෙනෙන්නට තිබූ දෙය නම් පොදු සන්ධාන සමඟ සජිත්ගේ සම්බන්ධතාවය දුරස්ය.
විශේෂයෙන් දමිළ ප්‍රජාවත් සමඟ ඔහුට ඇති දේශපාලන ගනුදෙනුව කුමක්ද?
එය සාධනීය මට්ටමක පවතිනවාද?
දුර්වලද?
සම්බන්ධය දුර්වල නම් මහින්ද රාජපක්ෂ පාලනය පෙරලීම සිතන තරම් පහසු නොවනු ඇත. මා මෙම ලිපියේ මෙම කොටස ලීවේ සජිත් ප්‍රේමදාසට පමණක් නොවේ.
මේ දිනවල ෆේස්බුකියේ බොහෝ දේවල් ලියන සහෝදර සහෝදරියන්ටද ඇතුළුවය. මන්ද ඔබද මෙම ප්‍රශ්න සජිත්ගෙන් ඇසිය යුතුය. එසේ නොවුව හොත් ඔබ ලියන ෆේස්බුකි කමෙන්ට් බලා සජිත් පේ‍්‍රමදාස අමාරුවේ වැටෙනු ඇත.

සේනක වත්තේගෙදර විසිනි
සමබිම වෙඩ් අඩවියෙනි