සත්ව අහිංසාව ඉස්මොල්ලේ ගිය සමාජය හමුවේ ඉදිවන ශ්‍රී ලංකාවේ මුල්ම සත්ව අහිංසා ස්මාරකය

0
283

 මෙම ස්මාරකය තැනීම සම්බන්ධයෙන් අප ගේ ජන සමාජයේ බහුතර දක්වනුයේ අතිශය ඇල්මැරුණු උදාසීන ආකල්පයකි. සමාජයේ පිරිසකගේ මතයට අනුව වර්තමානයේ රට මුහුණ පා ඇති අති ප්‍රබල සමාජ,ආර්ථික, සහ දේශපාලන අර්බුදය හමුවේ කඩිනම් දේශපාලනික විකල්පයන් වෙත යොමු නොවී සත්ව අහිංසා ස්මාරක තැනීම වත්මන් කුරිරු සමාජ යථාර්ථය යටපත් කරන්නකි.

තවත් සමහරකු ගේ මතය වනුයේ ශ්‍රී ලංකාව සමස්ත ලෝකයෙන්ම දරිද්‍රතාව මුල් කොට ගත් දැවෙන සමාජ අර්බුද අතින් ලෝක වාර්තාවක් තැබීමට සැරසෙන පසුබිමක එම සමාජ අර්බුදයන් විසඳීම සාමූහික සමාජමය වගකීමක් ව තිබිය දී “කොහේවත් නැති සත්ව අහිංසාවක්” පෙර දැරි කර ගැනීම අතිශය අනුවණ අවිචාරවත් ක්‍රියාවක් බවකි. එහෙත්, ඉහත සඳහන් සකල විධ චෝදනා, අපවාද හමුවේ අප නඟන ප්‍රධානතම තර්කයක් ද තිබේ.

එනම් “මේ මිහිතලය මිනිස් තිරිසන් සැමගේ සම උරුමයක්” ය යන ස්වභාවික යුක්තිය පදනම් කර ගත් සනාතන දහම තහවුරු කිරීම යම් අගතියක්, අනුවණ කමක් වන්නේ කෙසේද?යන්න ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය කිසිදු ආගමකින් තොරව හුදෙක් සත්ව අහිංසාව අගයන සියලු ජාතීන්ට සහ ආගමිකයන්ට හිමි පොදු උරුමයක් ලෙස සමාජ ගත කිරීමට අප සංවිධානය තීරණය කොට තිබේ. 

www.vinivida.lk