සමාජ ව්‍යාපාර වෙනුවෙන් පුරවැසි වගකීම

0
399

sarath
 රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සමාජ ව්‍යා පාරයක අවශ්‍යතාව පෙන්වා දෙමින් වික්ටර් අයිවන් මහතා මෑතක දී රාවයට ලියූ ලිපිය පුරවැසියන්ගේ නිසි අවධානයට බඳුන් වූ බවක් නොපෙනේ. ඊට ප‍්‍රධාන හේතුව සමාජ ව්‍යාපාරයක් වෙනුවෙන් නිසි නායකත්වයක් දෙමින් කැපවීමට තරම් විශිෂ්ටයන් අද රටේ නොමැති වීම විය හැකිය. වඩා යහපත් සමාජයක් වෙනුවෙන් අදහස් පළ කරමින් සමාජ සංවාදයක් ගොඩ නැඟීමට ද පසුගිය කාලයේ එ් එ් ක්ෂේත‍්‍රවල ප‍්‍රාමාණිකයන් මැදිහත් නොවීම ද පොදු තත්වයක් විය. රටේ පුරවැසියන් එලෙසින් නිද්‍රාශීලිව සිටියේ මර බිය පැවති නිසා බව ද අමතක කළ නොහැකි කාරණාවකි. ජනවාරි අට වෙනිදායින් පසුව රටේ තත්වය වෙනස් වී තිබේ. එහෙත් එ් වෙනස ඉවහල් කර ගනිමින් ශීලාචාර සමාජයක් බිහි කර ගැනීමට පුරවැසියන්ගේ දායකත්වය ප‍්‍රමාණවත් තත්වයකින් විද්‍යාමාන නොවන්නේ මන්ද?

සෝභිත හිමියෝ

සමාජ ව්‍යාපාරවල නිමග්න වීමට අවශ්‍ය ධෛර්යය සහ කැපවීම සම්බන්ධයෙන් අදාළ කරුණු සලකා බලන විට සෝභිත හිමියන් පරමාදර්ශයකි. සමාජ ව්‍යාපාරවල දීර්ඝ කාලයක් නිමග්න වීම ඔස්සේ උන්වහන්සේ ජාතිකවාදී දෘෂ්ටිවාද ක‍්‍රමයෙන් බැහැර කරමින් මනුෂ්‍ය සමාජයක යහපත වෙනුවෙන් කටයුතු කිරීමේ දී අවශ්‍ය නිවැරදි මාවත හඳුනා ගන්නේ න්‍යායාත්මක දැනුමකින් නොව, ප‍්‍රායෝගික කි‍්‍රයාදාමයන්හි නිමග්න වීමෙන් ලත් අත්දැකීම් ඔස්සේය.

අපේ රටේ, න්‍යායාත්මක දැනුමෙන් පොහොසත් පුද්ගලයන් සමාජ ව්‍යාපාරවලට නායකත්වය දීම, කැපවීම සම්බන්ධයෙන් පසුවන්නේ දුර්වල තත්වයකය. ප‍්‍රාමාණික උගතුන්ගේ ඛේදය වන්නේ වීදුරු කුටියක සිට සියල්ල මෙහෙයවීමට නැඹුරු වුණ අලස මානසිකත්වයකින් පසුවීමයි. අද දවසේ ඔවුන් පෙන්වා දෙන ප‍්‍රධාන කාරණය වන්නේ රටේ දේශපාලනඥයන් දූෂිත බැවින් සිහින දැකිය නොහැකිය යන්නයි. අනෙක් කාරණාව වන්නේ සමාජය දැනුවත් කිරීම අසීරුය යන්නයි.

කාලාන්තරයක් තිස්සේ රටේ දේශපාලනඥයන් දූෂණය වී සිටින බවත්, එ් නිසා සමාජ සාධාරණත්වය වෙනුවෙන් ප‍්‍රගතිශීලී ව්‍යාපාර අත්හැර නොදැමිය යුතු බවත් සෝභිත හිමියන් පෙන්වා දෙන්නේ ඊට අවශ්‍ය රිද්මය නිසි අන්දමින් හදුනා ගනිමිනි. මේ සෝභිත හිමියන්ගේ අදහස් කිහිපයකි.

‘කිසිම දේශපාල නඥයෙක් ගැන අසීමිත විශ්වාසයකින්වත්, අසීමිත බලාපොරොත්තු වකින්වත් අපි කිසි වෙලාවක කටයුතු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි දේශපාලනඥයො එහෙම පිටින්ම පිටු දැකලා අපට කිසි දෙයක් කරන්න බැහැ. යහ පාලනයකට දේශපාලනඥයො මෙහෙය වන්න ඕනෑ අපි. එ්ගොල්ලන්ට බලය ලැබුණහම පැත්තකට දාන්නෙ යහ පාලනයයි ඉස්සරවෙලාම. එ් නිසා අපි දේශපාලනඥයන්ගේ ඔඩොක්කුවලට වැටෙන්න නරකයි. එතකොට අපට මොකුත්ම කර ගන්න බැරි වෙනවා. අපේ අරමුණ වෙනුවෙන් විතරයි අපි කැපවෙන්න ඕනැ. දේශපාලනඥයො හරි ආසයි ටිකක් කෙළින් කතා කරන මිනිස්සුන්ට හොඳට සලකන්න. එ්ක අපි තේරුම් ගන්න ඕනෑ. හැමදාම වෙන්නේ හොඳ මිනිස්සු ටික ඕනැකමින්ම හීලෑ වෙන එකයි. අපේ රටේ උගතුන්ගෙ බුද්ධිමතුන්ගේ ලොකු ප‍්‍රශ්නයක් මේක…” :තුන් කල් දැක්ම, 37 පිටුව.

සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් සෝභිත හිමියන්ගේ කැපවීම හා අවබෝධය පරමාදර්ශී වුව, එ් මඟ ගමන් ගන්නා භික්ෂු පරපුරක් වැඞී වර්ධනය නොවීම යහපත් සමාජ සංස්කෘතියක් උදෙසා අවශ්‍ය සමාජ ව්‍යාපාර ශක්තිමත්ව ගොඩනැඟීමට බාධාවකි. මන්ද දැනඋගත් භික්ෂූන්වහන්සේ නමකට සමාජ ව්‍යාපාරයක දී උරුම වන ස්ථානය අපේ රටේ ගිහියෙකුට උරුම නොවීම වැදගත් සාධකයක් වන බැවිනි.

සෝභිත හිමියන් පෙන්වා දෙන පරිදි, දේශපාලනඥයාට දුරින් සිටින විට දේශපාලනඥයා සමාජ කි‍්‍රයාධරයන් කෙරේ කිසියම් ගෞරවයකින් පසු වන්නේය. සමාජ කි‍්‍රයාධරයන් දේශපාල නඥයා දෙන තානාන්තර ලබා ගත් පසුව කොඳු නාරටි බිඳ ගැනීමට සිදුවීම අනිවාර්ය තත්වයකි. මහින්ද රාජපක්ෂ රටේ උගතුන්, කලාකරුවන්, පමණක් නොව භික්ෂූන් වහන්සේලාට ද සැලකීම හොඳින්ම සිදු කළේය. ඔහු සිය දේශපාලන ව්‍යාපෘතිවල ඉලක්ක කණ්ඩායම බවට පත් කර ගත්තේ දිළිඳු නූගත් කාන්තාවන්ය. එ් මඟින් දැනඋගත් කාන්තාවන් ද ඔහු ග‍්‍රහණයට නතු කර ගැනීමට සමත් වේ. සිවිල් සංවිධාන මොන අන්දමකින්වත් කාන්තා වන්ගේ දායකත්වය සමාජ ව්‍යාපාරවලට වැඩියෙන් දායක කර නොගැනීම රාජපක්ෂ ව්‍යාපෘතිවලට හිතකර විය.

සාමූහික කැපවීම

ලංකාවේ සමාජ සංස්කෘතික ජීවිතය ජරාජීර්ණ තත්වයකට පත්වීමට ප‍්‍රධාන හේතුව වන්නේ රටේ අභිවෘද්ධිය උදෙසා සාමූහිකව කැපවීමට තරම් බුද්ධිමතුන් විරල වීමය. සමාජ ව්‍යාපාරයක නිමග්න වීමට අවශ්‍ය සාමූහික කැපවීමට කරුණු දෙකක් අතිශයින් වැදගත් වන්නේය. ඉන් පළමුවැන්න අවංක චේතනාවකින් කාලය මිඩංගු කිරීමය. දෙවැන්න තත්කාර්යය පිළිබඳ සවිඥානක වීමය.

කණ්ඩායමක් වශයෙන් වැඩ කරන විට විවිධ මතවාද හා පරස්පර අදහස් කළමනාකරණය සහ එ්වා ඉවසීම ඉතා වැදගත් වන්නේය. එමෙන්ම විචාරශීලී අන්දමින් සංවාදයක නිමග්න වීම ද අවශ්‍ය වේ. මේ සඳහා පුද්ගලයන්ගේ පෞරුෂය මෙන්ම අවබෝධය ඉතා වැදගත්ය. ප‍්‍රගතිශීලී අදහස් දරන, වැදගත් තනතුරු හෙබවූ විශ‍්‍රාමික, එහෙත් හොඳින් සමාජ ව්‍යාපාරයකට කැප විය හැකි පුද්ගලයන් පිරිසක් එකතු වී මාධ්‍ය ඔස්සේ අවිද්‍යාව පැතිරවීම සම්බන්ධ මහජන සංවාදයක් වෙනුවෙන් ගන්නා ලද ව්‍යායාමයක් ගැන අසන්නට ලැබුණි. මේ කණ්ඩායම ප‍්‍රථමයෙන් සාකච්ඡුා කර තිබෙන්නේ මධ්‍යම පාන්තිකයන් අවිද්‍යාවේ ඇලීගැලී සිදු කරන මුග්ධ කටයුතු පිළිබඳ විචාරශීලී සංවාදයක් ඇති කිරීමටය. එ් සඳහා වැඩකටයුතු සංවිධානය වන විට නොසිතූ විරූ අන්දමින් කුල සාධකය මතු වන්නේය. කුල සාධකය දෙයා කාරයකින් මතු වී තිබේ. ආගම මුල් කර ගනිමින් අවිද්‍යාවේ ඇලීගැලී සිටින පුද්ගලයන්ගෙන් බහුතරයක් ගොවිගම කුලයට අයත් බවක් කරුණු කාරණ විමර්ශනය කරන විට විද්‍යාමානවීම එක තත්වයකි. අනෙක් තත්වය වන්නේ, ප‍්‍රධාන පෙළේ භික්ෂූන්වහන්සේලා සහ ධනපතියන් අවිද්‍යාවෙන් පවතින තත්වය සාධාරණීකරණයයි. එහිදී ඇතැම් නිකායක භික්ෂූන්වහන්සේලාට අවමානයක් ඇතිවේය යන හැඟීමත්, එක්තරා කුලයක් වටා කේන්ද්‍රගතව සිටින ධනපතීන්ට අවමානයක් ඇතිවේය යන හැඟීමත් මත කණ්ඩායම වාද කරන්නට පටන් ගෙන එය අතිශයින් පෞද්ගලික ඇනකොටා ගැනීමක් බවට පත්ව කෙළවර වී ඇත. මෙබඳු තත්වයන් විශද කරන්නේ කුමක් ද? අන් කිසිවක් නොව බුද්ධිමය දරිද්‍රතාවම වේ.ලංකාව වැනි කුඩා රටක දැනඋගත් සමාජය කුල සාධකයේ දී ඉතා ප‍්‍රාථමික තැනකට ලඝු වීම සාමාන්‍ය තත්වයක් වුවත් ඉතා අවාසනාවන්ත තත්වයකි. එ් එ් කුලය ඔස්සේ කිසියම් සමාජ බලයක් ගොඩනඟා ගැනීමේ අභිප‍්‍රායක් බොහෝ විට පිළිකාවක් මෙන් වැඞී වර්ධනය වේ. මෙහි අවාසනාවන්ත තත්වය වන්නේ කුල පීඩනය සමාජ ව්‍යසනයක් ලෙසින් දකින පුද්ගලයන් අඩු කුලවලට අයත් පුද්ගලයන් බවත්, ඔවුන් පෞද්ගලික අභිමතාර්ථයක් මුදුුන්පත් කර ගැනීමේ ප‍්‍රයත්නයක නිමග්න වන්නේය යන මතයක් කණ්ඩායම ඇතුළෙන්ම ගොඩ නැඟීමය. යට කී කණ්ඩායමේ සිටි වැඩි දෙනා ගොවිගම කුලයේ උදවිය බැවින් අවසන මතවාදී ගැටුමක් නිර්මාණය වන්නේය. එහි අවසානය මාස ගාණක් තිස්සේ සාකච්ඡා පවත්වමින් සැලසුම් කරමින් සමාජ ව්‍යාපාරයක් ගොඩ නැඟීමට දැරූ ප‍්‍රයත්න නිෂ්ඵල වීමය.

සමාජ ව්‍යාපාරයක් ගොඩ නැඟීමේ දී රටේ භික්ෂූන්වහන්සේලාට තිබෙන අවකාශය ගිහි සමාජයට වඩා ඉහළ තත්වයක පවතී. අභාග්‍යය වන්නේ භික්ෂූන්වහන්සේලා බොහෝ විට කුල සාධකය විවිධ මුහුණුවරින් පරිහරණය කිරීමය. ඇතැම් කටයුතුවල දී නායකත්වය ගැනීමට සුදුසු යයි යෝජනා කරන භික්ෂූන්වහන්සේ නමකට තවත් භික්ෂූන්වහන්සේ නමක් කැමැත්ත පළ නොකර නිහඬව සිටිමින් සිදු කරන්නේ වෙනත් නමක් යෝජනා කිරීමය. පසුව රහසින් පවසන හේතුව වන්නේ කුලය සම්බන්ධ ගැටලූවක් නිසා නායකත්වය දීමට අකමැත්තය. මෙය ගොවිගම කුලයට පමණක් අදාළ නොවන බව ද කිව යුතුය.

පැවිදි සමාජය තුළ මෙන්ම ගිහි සමාජය තුළ ද පවතින කුල සාධකය සමාජ ව්‍යාපාරයක දී සාමූහික කැපවීමට විශාල බාධාවක් බව බොහෝ ප‍්‍රගතිශීලී සමාජ ව්‍යාපාර බිඳ වැටීම සම්බන්ධ තතු නිරීක්ෂණය කරන විට පැහැදිලි වේ.

පුරවැසි වගකීම

සමාජයක අභිවෘද්ධිය උදෙසා කැපවීම නීතිගරුක පුරවැසියන් සතු පරම වගකීමකි. මෙහිදී කාන්තාවන්ගේ දායකත්වය ගැන අලූතින් කල්පනා කිරීම ද අවශ්‍ය වන්නේය. කවර සමාජ ස්ථර නියෝජනය කරන පුද්ගලයන් සමඟ වුව කටයුතු කරන විට සැලකිය යුතු කාරණා කිහිපයක් ඇත. එ්වා ප‍්‍රකටය. එ්වායෙන් වියුක්ත වීමට සූදානම් වීම පුරවැසි වගකීම වේ. එ් මොනවා ද?

ආගම හා කුලය, ප‍්‍රගතිශීලී සමාජ ව්‍යාපාරයක දී අවබෝධයෙන් බැහැර කිරීම එකකි. නිර්භීතව සමාජයක අභිවෘද්ධියට අදාළ තීරණ ගැනීමේ දී මෙය බරපතළ කාරණාවකි. සෑම අවකාශයක දීම අදාළ ප‍්‍රස්තූතය දීප්තිමත්ව තබා ගැනීමට පමණක් මූලික අවධානය යොමු කළ යුතුය.

දෙවැන්න ලෙස ජාතිභේදය සම්බන්ධ කරුණු ඔස්සේ න්‍යාය පත‍්‍ර සකස් නොකිරීමේ අවශ්‍යතාව දැක්විය හැකිය. තුන්වැනි සාධකය වන්නේ ස්තී‍්‍රන් සම්බන්ධ ආකල්පය බැහැර කිරීමය. සමාජ ව්‍යාපාරවල දී ස්තී‍්‍රන් බලගැන්වීම සම්බන්ධ පුහුණු වැඩ සටහනක දී, ඊට සම්බන්ධ වුණ ස්තී‍්‍රන් විවෘතව පවසා සිටියේ ඔවුන්ට වගකීම් පැවරීමට පිරිමි පමණක් නොව, පිළිගත් දැනඋගත් කාන්තාවන් ද සූදානම් නැති තත්වයක් පවතින බවයි. එය සංකීර්ණ ප‍්‍රශ්නයකි. අගනුවරින් බැහැරව ජීවත් වන සමාජ කි‍්‍රයාකාරිනියක පවසා සිටියේ මේ තත්වය සම්බන්ධ මධ්‍යම පාන්තියේ කාන්තාවන් ප‍්‍රතිගාමී තත්වයක පසුවන බවයි. ඇය ඇගේ අදහස සනාථ කිරීමට ඉදිරිපත් කළ නිදර්ශනය සිහිපත් කිරීමට කැමැත්තෙමි.

පිටිසර ගම්වලින් ආයෝජන කලාපවල සේවය කිරීමට කැඳවා ගෙන යන කාන්තාවන් සහ විදේශගත රැුකියා සඳහා යන ගැමි කාන්තාවන් මුහුණ දෙන ගැටලූ සොයා බලා ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් රාජ්‍ය නොවන සංවිධානයක් මඟ‘න් දියත් කර ඇත. එ් වැඩ සටහනේ දී අදාළ කාන්තාවන්ට නායකත්වය දී තිබෙන්නේ මැදිවියේ විදුහල්පතිනියකි. ඇය නිසි නායකත්වයක් දීමට සමත් වූ බව ද කියැවිණි. මේ වැඩසටහනට අනුග‍්‍රහය දක්වන සංවිධානයේ නිලධාරිනියන් කිහිප දෙනා මේ විදුහල්පතිනියට සිංහලෙන් කතා කරන අතර, එ් කාන්තාවන් කිහිප දෙනා අතර සන්නිවේදනයට යොදා ගන්නේ ඉංග‍්‍රීසි භාෂාව බවත්, මේ විදුහල්පතිනියත් යම් අවස්ථාවල දී එ් කාන්තාවන්ට ඉංග‍්‍රීසියෙන් කතා කළත් ඇය සමඟ මේ තැනැත්තියන් ඉංග‍්‍රීසියෙන් කතා නොකිරීම පිළිබඳ තත්වය අප‍්‍රසන්න අත්දැකීමක් බවට පත් වුණ අන්දමත් පෙන්වා දුන්නේය.

ස්තී‍්‍ර පුරුෂභාවය සම්බන්ධයෙන් පුරවැසි වගකීම අලූත් සංවාදයකට බඳුන් විය යුතුය. බොහෝ සමාජ ව්‍යාපාරවල කැපී පෙනෙන තත්වයක් වන්නේ ස්තී‍්‍ර නියෝජනය දුර්වල තත්වයක පැවැතීමයි. මේ සම්බන්ධයෙන් ප‍්‍රධාන ගැටලූව වන්නේ රටේ දැනඋගත් කාන්තාවන් සමාජ ව්‍යාපාරවලට දායක වීමට දක්වන අකමැත්ත වේ. සමාජ කි‍්‍රයාකාරිනියන් පවසන්නේ අවශ්‍ය තීරණ ගැනීමේ බලය කාන්තාවන්ට ලබා දෙන්නට සමාජ සංවාදයේ දී සූදානම් නැති තත්වයක්ද පවතින බවයි. මධ්‍යම පන්තියේ කාන්තාවන් පවසන්නේ අතීතයේ සිට සමාජ ව්‍යාපාරවලට භික්ෂූන් වහන්සේලා නායකත්වය දීම නිසා ස්තී‍්‍රන්ගේ දායකත්වයක් නොතිබුණ බවයි. ඉක්බිතිව සමාජ ව්‍යාපාරවල දේශපාලනමය නැඹුරුව හේතුවෙන් ද ස්තී‍්‍රන්ගේ දායකත්වයට අවකාශයක් නොලැබුණ බවයි.

අභියෝගය

යහපත් ආණ්ඩු කරණයක් වෙනුවෙන් පසුගිය කාලයේ දී දියත් වුණ සංවාදයේ දී කාන්තාවන්ගේ දායකත්වය පමණක් නොව, සහභාගිත්වය සෑම අංශයකින්ම තිබුණේ ඉතා අඩු මට්ටමකිනි. මේ සම්බන්ධ යථාර්ථය කුමක් ද? බොහෝ සිවිල් සමාජ සංවිධාන තුළ කාන්තාවන්ට තීරණ ගැනීමේ බලයක් නොතිබීම එක් කාරණාවකි. අනෙක් කාරණාව වන්නේ යහපත් ආණ්ඩුකරණය හා සම්බන්ධ අවබෝධය කාන්තාවන්ට අවශ්‍ය අන්දමින් ලබා දීමට සිවිල් සංවිධාන අසමත් වීමය. යහපත් ආණ්ඩුකරණයකට කාන්තාවන් සවි බල ගැන්වීම සිවිල් සංවිධානවල වගකීමක් බව නැවත නැවතත් අවධාරණය කළ යුතු කාරණයකි.

යහපත් ආණ්ඩු කරණයක් වෙනුවෙන් පාලකයන් පොළඹවාලීම නීතිගරුක පුරවැසියන්ගේ වගකීමක් වේ. එය සාමූහික කැපවීමකින් සිදු කළ යුතුය. එය සාර්ථක වීමට නම්, සමාජ ව්‍යාපාරවල මට්ටම ඉහළට එසවීම අවශ්‍ය වේ. එහිදී සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණු කිහිපයක් තිබේ. ප‍්‍රධාන වන්නේ, පොදු ජනතාව අතරට නීතිගරුක පුරවැසියා හා නීතිගරුක සමාජය පිළිබඳ දැනුම රැුගෙන යාමය. මේ සඳහා කාන්තාවන්ගේ දායකත්වය ගැන අලූතින් සිතීම පුරවැසියන්ගේ වගකීම වේ. එ් සම්බන්ධව සංවේදී නොවුණහොත් රාජපක්ෂ ව්‍යාපෘතීන් යළිත් වේගයෙන් රට තුළ මුවහත් වන්නේය.
මහාචාර්ය සරත් විජේසූරිය
www.ravaya.lk