සිංහල ජනතාව අපිව බලා ගන්න අඩියක් ඉස්සරහට ආවොත් අපි සිංහල ජනතාව ඉස්සරහට අඩි දහයක් එනවා

0
69

Sri

68 වෙනි ජාතික නිදහස දින යෙදුන ඊයේ, බ්‍රහස්පතින්දා ජාතික ගීය දෙමළ භාෂාවෙන් ද ගායනා කිරීම සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර පල වෙමින් පවතිද්දී උතුරු පළාත් සභා මහ ඇමති සී වී විග්නේස්වරන් ඊට සිය ප්‍රසාදය පල කළේ යාපනයේ පිහිටි නාග විහාරයට ගොස් බුදුන් වැඳ ගෞරවය දැක්වීමෙන්.
මහඇමති වරයා කියා සිටියේ එය සංහිඳියා වැඩපිළිවෙලේ ශුභ වාදී පෙර නිමිත්තක් වන බව.
සහෝදරත්වය
සිංහල දෙමළ සහෝදරත්වයට පිළිගැනීමක් ලැබී ඇති බව, ජාතික ගීය දෙමළ බසින් ගැයීම තුළින් පෙන්නුම් කර ඇතැයි උතුරේ මහ ඇමති සී වී විග්නේශ්වරන් පැවසුවේය.
‘ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ගැන බොහොම සන්තෝෂයි. ඒක පොඩි දෙයක් වුනාට දැන් ලංකාවේ සිංහල දෙමළ මිනිස්සුන්ගේ සහෝදරත්වය පිළිගන්නා බව පෙන්වමින් සියල්ල වෙනස් වෙමින් පවතිනවා. ඉතින් ඒ අදහස කියන්න හාමුදුරුවෝ හම්බවෙන්න මම නාග විහාරයට ආවා. සිංහල ජනතාව අපිව බලා ගන්න අඩියක් ඉස්සරහට ආවොත් අපි සිංහල ජනතාව ඉස්සරහට අඩි දහයක් එනවා කියල කියන්න සතුටුයි’ උතුරේ මහ ඇමතිවරයා සඳහන් කළේය.
රට ඉදිරියට ගෙන යාම
මේ අතරතුර ජාතික ගීය දෙමළ බසින් ගැයීම පැසසුමට ලක් කරමින් විපක්ෂ නායක ආර් සම්බන්ධන් බීබීසීයට කියා සිටියේ රටට අවශ්‍ය වී ඇත්තේ සියලු ජන කොටස් එක්සත් වී රට ඉදිරියට ගෙන යාම බවයි.
‘ඒක හොඳ දෙයක්. රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් ඒ ගැන සතුටු වෙනවා ඇති. රටේ ඉන්න හැම දෙනාටම එක විදියට සළකනවා නම්, සම අයිතිවාසිකම් දෙනවා නම් මේක කරන්න ඕන. මේ වගේ දේවල් කළාම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හැම දෙනාම එකතු වෙනවා. රටට උවමනා සියලු දෙනාම එකතු වෙලා රට ඉස්සරහට ගෙන යාම විතරයි.’ විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අතරතුර රටේ පවතින ජාතික ප්‍රශ්නයට විසඳුමක් ගෙන ඒමට කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
‘රට බෙදන්නේ නැතුව ඒකට විසඳුමක් ගේන්න පුළුවන්. ඒක මේ ආණ්ඩුව කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා. එහෙම දෙයක් කරන්න හදනකොට අපි ඔක්කොම එකතු වෙලා උදව් කරන්න ඕන.’ ඔහු ප්‍රකාශ කළේය.
නිදහස් දිනයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල විරෝධතා පැවැත් වීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ උතුරු නැගෙනහිර සමස්ත ජනතාවම විරෝධතා දක්වා නැති බවයි.
තම ඥාතීන් අතුරුදහන් වූ පිරිස මෙසේ විරෝධතා දැක් වූ බවත් ‘ඔවුන් ගේ වේදනාව අප තේරුම් ගත යුතු’ බවත් විපක්ෂ නායක ආර් සම්බන්ධන් පැවසීය.
කෙසේ නමුත් පසුගිය මැතිවරණයේ දී සියලු දෙනා ඡන්දය පාවිච්චි කර ඇත්තේ ‘රට නොබෙදා සියලු දෙනා එක්සත් වී රට ඉදිරියට යාම සඳහා’ බවයි ඔහු තව දුරටත් කියා සිටියේ.wig