සිංහල සිනමාවට අමරණීය සිහිවටනයක් වූ කඩවුණු පොරොන්දුව නිර්මාණය කරමින් සිංහල සිනමාවේ පියා යැයි විරුදාවලිය ලත් ඔහු බී.ඒ.ඩබ්. ජයමාන්නයි. සිංහල සිනමාවක් බිහි කිරීමට පුරෝගාමියෙකු වූ බී.ඒ.ඩබ්. ජයමාන්න ශුරීන් සිංහල සිනමාවේ ප්‍රථම නළුවා ලෙස අපි හඳුන්වනවා.
ඔහු විවාහ වුණේ පෙරියමාෂල් නැමැති යුවතිය සමග. පසුව ඇය ග්‍රේස් ජයමාන්න නමින් සිනමා ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ වූවා. ඔවුන්ට දාව දියණියන් තිදෙනෙක් සහ පුත්‍රයෙක් බිහිවුණා. ඔහු ගාමිණී ජයමාන්න.
පියාගේ අඩිපාරේ යමින් සිනමාවට සම්බන්ධ වෘත්තියක් ඔහු තෝරා ගත්තා. මෙවර මීපුර කලා පිටුවෙන් අප හමුවන්නේ ඔහුයි.
ජීවිතයේ මුල් කාලය ගැන ටිකක් කතා කරමුද?
අපේ ගම පෙරියමුල්ල. පාසැල් ගියේ මීගමුවේ මාරිස්ටෙලා විදුහලට. පාසැල් යන කාලේ ඉඳන් මගේ ආසාව තිබුණේ ඡායාරූප ශිල්පයට. මම මේ කතාව ලයන් ස්ටූඩියෝ එකේ ඇල්ප්‍රඩ් අයියට කිව්වා. එයා කිව්වේ ෆොටෝ ගන්න නම් ඉස්සර වෙලා ෆොටෝ හෝදලා එන්න කියලා.
මම පාසල් ඇරිලා ලයන් ස්ටූඩියෝ එකේ ෆොටෝ හේදුවා. එහෙම තමයි ඡායාරූප කලාව මම ඉගෙන ගත්තේ. පාසලෙන් අස්වෙලත් මම දිගටම ස්ටූඩියෝ එකේ වැඩ කළා. ඒ අතර රැකියාවල් හෙවීම ගැනත් උනන්දු වුණා. මේ මම කියන්නේ 1971 විතර… ඔහොම ඉන්න කොට එඩී අංකල් (එඩී ජයමාන්න) කතා කරල මට කිව්වා විජය චිත්‍රාගාරයේ සංස්කරණ අංශයේ ඇබෑර්තුවක් තියෙනවා. ඉල්ලන්න කියලා. මගේ කැමැත්ත තිබුණේ කැමරාකරණය කරන්නයි. ඒත් එඩී අංකල් කිවුවේ කැමරාකරණයට සම්බන්ධ වෙනවානම් පිට පළාත්වලට යන්න වෙනවා නිතරම. ඊට වඩා මේක එකතැන ඉඳන් කරන්න පුළුවන් නිසා මේක හොඳයි කියලා.
එයාගේ බල කිරීමටයි මම මේක තෝරගත්තේ. එතකොට මට වයස අවුරුදු 21 යි.
සංස්කරණ ෙකෂ්ත්‍රයේ මුල්ම අත්දැකීම් ගැන මතකද?
ඒ කාලේ සංස්කරණ කටයුතුවලට තියෙන මේසයවත් අල්ලන්න දෙන්නේ නෑ. අවුරුදු 2 ක් විතරම හිටගෙන ඉන්න ඕනෑ. නවකයින් බලන් ඉද්දි ෆිල්ම් එකක් කපන්නේවත් නැහැ. බැරිවෙලාවත් නවකයෙක් ළඟ ඉන්නවානම් මොකක් හරි රීල් කෑල්ලක් බිම වට්ටලා ඒක අහුල ගන්න නවකයාට ඉඩහැරලා තමයි ෆිල්ම් එක කපන්නේ.
ඒක හරියට දේව රහසක් වගේ. නමුත් මේ ප්‍රතිපත්තිය වෙනස් කළා විශේෂයෙන්ම ඩබ්.ඩී. රූබන් මහත්මයා. එයා කිව්වා උඹලා කපලා පුරුදු වෙයල්ලා කියලා. ඒ හින්දා මට අවුරුදු 2 ක් හිටන් ඉන්න උනේ නෑ. ඒවගේම බර්නාඩ් රෙජිනෝල්ඩ් සහ සෙක්ස්ටස් අපෝන්සු මට ගොඩාක් උදව් කළා.
ඔබේ සංස්කරණ දායකත්වය ගැන යමක් කතා කළොත්…
සංස්කරණය කියන්නේ නිර්මාණයක හදවත. මේකෙ අංශ ගණනාවක් තියෙනවා. මේ විවිධ අංශවලින් චිත්‍රපටි 60 කට විතර මම දායකවෙලා. ලංකාවේ ඉන්න හැම අධ්‍යකෂක කෙනෙක් එක්කම වැඩ කරලා තියෙනවා. ක්ෂේත්‍රයේ වැඩි දෙනෙක් එක්ක වැඩ කරපු හින්දා මගේ දැනුම ගොඩක් පුළුල් වුණා. ඇන්ටත් ග්‍රෙගරිත් මට කිව්වා ඇසිස්ටන් වෙලා වැඩිම ඩිරෙක්ටර්ස්ලත් එක්ක වැඩ කරපුවම තමයි මේ ක්ෂේත්‍රයේ ඉගෙන ගන්න පුළුවන් කියලා. මොකද චිත්‍රපටියකදි භාවිතා කරන ක්‍රම අධ්‍යකෂ කෙනෙකුගෙන් තවත් අධ්‍යකෂ කෙනෙකුට වෙනස්.
මට ඒ කාලේ ඕනෑ උනා මුදල්. ඉතින් මට ටයිටල් පස්සේ දිව්වේ නෑ. ඒ නිසා මම කරපු සමහරක් වැඩවලට අනෙක් අය නම් දාගත්තා. මැවිලා පෙනේවි රූපේ සංඛපාලි, ක්‍රිස්තු චරිතය, විරාගය, කොටි වලිගය මම දායක වෙච්ච චිත්‍රපටිවලින් ප්‍රධාන කීපයක්.
ෙකෂ්ත්‍රයේ අමතක නොවෙන දේවලූත් ඇතිනේ…
ක්‍රිස්තු චරිතය චිත්‍රපටියේ අවසාන ජවනිකාවල වචන ඇලරික් ලයනල් අතින් නැතිවෙලා තිබුණා. ලුප් ටික බලලා වචන හදලා දාල තමයි ඒකේ වැඩ ඉවර කෙරුවේ. එතනදි මැණික් කුරුකුලසූරියගේ මතකය මේ වැඩේදි ගොඩක් උදව් වුණා.
ඊළඟට අමත නොවෙනම එක තමයි ටයිටස් තොටවත්තගේ හඳයා චිත්‍රපටිය. දින තුනක් රෑ දවල් තිස්සේ නෙගටිව් කැපුවා. අඩි 4000 ක නෙගටිව් පටි අඩි 1000 කට සංස්කරණය කරන්න සිද්ධ වුණා. මේක එච්චර ලේසිවැඩක් නොවෙයි. එක ෂොට් එකක් අරන් තියෙන්නේ ටයි මහත්තයා කොටස් හතරකට. එයා කිව්වා පුළුවනි නම් කපලා කොටලා ඒක හරියට ගනින් පුතා කියලා.
මම කොහොම හරි අමාරුවෙන් වැඩේ කළා. වැඩේ ගැන ටයි මහත්තයා සතුටු වෙලා මට රුපියල් 200 ක් දුන්නා. එ්කාලේ හැටියට එ්ක ලොකු මුදලක්. ටයි මහත්තයාගෙන් එ් වගේ මුදලක් ගන්න එක ලේසි වැඩක් නෙමේ.
අපේ ටෙලි නාට්‍ය ගැන…
දැන් තියෙන ටෙලි නාට්‍යවල සංස්කරණය අන්තිමට දුර්වලයි. ටෙලි නාට්‍ය ඇදෙනවා නෙමෙයි, අද්දනවා. විනාඩි 20 ක් දුවන්න අවශ්‍ය නිසා හුඟාක් දර්ශන රිපීට් වෙනවා. අපේ ටෙලිනාට්‍ය වල යනවා කිව්වාම එ් යන එකත් මුල ඉඳන් අගටම පෙන්වනවා. අපේ ටෙලි නාට්‍යවලට වඩා සමහර විදේශ නාට්‍ය හුගක් ජනප්‍රිය වෙනවා. එ්කට හේතුව අපිට හොඳ ඩබින් ආර්ටිස්ලා ඉන්නවා. දැන් බලන්න ශාන්ති, ප්‍රගති වගේ ටෙලි නාට්‍ය. ඉතාම ජනප්‍රිය වෙනවා. එහෙම වෙන්නේ ඇයි? කියලා අපේ මේ කර්මාන්තයේ නියැලිලා ඉන්න අය බරපතලව හිතන්න වෙනවා.
සිනමාව ගැන…
අපි තාම හෝල් වල කරන්නේ සිනමාව නෙමෙයි ටෙලි නාට්‍ය. එ්ක පැහැදිලිව පෙනෙනවා හිංදි සහ ඉංග්‍රීසි ෆිල්ම් බලද්දි. මම කියවලා තියෙනවා ඉන්දියාවේ සමහර නළු නිළියෝ කියනවා මට අහවල් චිත්‍රපටියට යන්න බැරිවුණා රිහසල් ගිය නිසා කියලා.
එයින් පැහැදිළි වෙන්නේ සීන් එකක් කරන්න කලින් ඉන්දියානු නළු නිළියන් රිහසල් කරනවා. එ් නිසා එයාලට කරන චරිතය ගැන හොඳ හැඟිමක් තියෙනවා. අපේ නළු නිළියන්ට ලොකේෂන් එකට ගියාම තමයි ඩයලොග් එක දෙන්නේ. එ්නිසා හැඟීමක් නැතිවයි රඟපාන්නේ. මූඩ් එක පොඩ්ඩක් අරන් වචන ටික කියලා දානවා.
දැන් බලන්න සිනමාවට වඩා අද නාට්‍ය ඉදිරියෙන් ඉන්නේ… මේකට මට හිතෙන හේතුව තමයි පෙර සූදානම සහ කැපවීමයි. එ් එ් සීන් වලට කැමරා ලෙන්ස් එක මාරු කරන්න ඕනේ. අපි හිතමු කැමරාමන් 55 ලෙන්ස් එක දානවා . අධ්‍යකෂක අහනවා මොකක්ද ලෙන්ස් එක කියලා. එතකොට කැමරමන් කියනවා 55 ලෙන්ස් එක කියලා. එතකොට ඩිරෙක්ටර් කියනවා හරි ඕකේ කියලා. නමුත් 55 ලෙන්ස් එක දාන්නේ ඇයි කියලා දන්නේ නැහැ. මට හිතෙනවා මේ හේතුත් බලපාලා තියෙනවා කර්මාන්තය බිඳ වැටෙන්න.
දැන් තියෙන විකට චිත්‍රපටි රැල්ල ගැන මොකද කියන්නේ…
විකට චිත්‍රපටිවලට මම හරි කැමතියි. නමුත් කණගාටුව අපේ කොමඩි ඇක්ෂන් කොමඩි නොවෙයි. දැන් බලන්න සමහර ඉංග්‍රීසි කොමඩිවල ශබ්දය ඕෆ් කරලා ෆිල්ම් එක බැලූවත් අපට හිනා යනවා. අපේ විකට චිත්‍රපටිවලදි එහෙම වෙනවද?
ඔහුගේ ලිපිනය – අංක 18, මිනර්වා මුස්ලිම් පල්ලිය පාර, පෙරියමුල්ල, මීගමුව.
දුරකථනය – 03122 31336
( මීගමු සිනමා කරුවන් පිළිබදව මීපුර පුවත්පතේ පළවු ලිපි මාලාවෙන් උපුටා ගැනුණි.)