සුරේන්ද්‍ර වසන්ත ඝාතන පාපොච්චාරණය : ‘මෙහෙම ප්‍රකාශයක් ගන්න බැහැ – නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි’

0
122

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තවත් පුද්ගලයෙකු ඝාතනයට ලක් කරමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය

සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගෙන් පොලිසිය ප්‍රශ්න කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ( ජුලි මස 10) මෙරටේ ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

රටේ බහුතරයකගේ අවධානය යොමු වී ඇති ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකුගෙන් එලෙස ප්‍රශ්න කිරීම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අදහස් පළකර තිබුණි.

‘පොලිසියට එල්ල වූ චෝදනා’

අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු ගෙන් මාධ්‍ය හමුවේ පාපොච්චාරණය කිරීමට සැලැස්වීම පිළිබඳ එම වීඩියෝ පටය ප්‍රචාරය වූ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා බොහෝ පරිශීලකයින් පොලිසියට චෝදනා එල්ල කර තිබුණි.

එහිදී ඇතැම් පරිශීලකයින් සඳහන් කර තිබුණේ ‘අපරාධ නීතිය රටට වැඩක් නොමැති’ බවය.

එමෙන්ම ‘මේ වැරදි වැඩක්. පොලිසියට මෙහෙම දේවල් එළියට දෙන්න බෑ.’ යනුවෙන් ද එක් ෆේස්බුක් පරිශීලකයෝ සිය මතය පළකර තිබුණි.

මේ අතර ජනාධිපති නීතිඥ සාලිය පිරිස් බීබීසී සිංහල වෙත කියා සිටියේ මාධ්‍ය කැඳවා සිදුකරන මෙවැනි ප්‍රකාශ ලබා ගැනීම හරහා විමර්ශනයේ අපක්ෂපාතිත්වය පිළිබඳ ගැටලුවක් ඇති වන බවයි.

 

xfgrt4ඝාතන සිද්ධියේ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ගිය අයුරු

‘මෙම නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි’

මේ අතර ජනාධිපති නීතිඥ සාලිය පිරිස් බීබීසී සිංහල වෙත කියා සිටියේ මාධ්‍ය කැඳවා සිදුකරන මෙවැනි ප්‍රකාශ ලබා ගැනීම හරහා විමර්ශනයේ අපක්ෂපාතිත්වය පිළිබඳ ගැටලුවක් ඇති වන බවයි.

“මෙහෙම දෙයක් කරන්න බැහැ. සාමාන්‍යයෙන් ප්‍රකාශයක් ගන්න ඕන අපරාධ නීතියට අනුවයි.”

“අපේ සාක්ෂි ආඥා පනතේ පොලිසිය සිදුකරන මේ වගේ ප්‍රකාශ සාක්ෂියක් වෙන්නේ නැහැ. එතකොට අපරාධ නීතියට අනුව ප්‍රකාශයක් සටහන් කරගන්න විදිහක් තියෙනවා.”

“මෙහෙම මීඩියා ගෙනල්ලා රෙකෝඩ් කලාම මුළු පරීක්ෂණයේම අපක්ෂපාතිභාවය ගැන ප්‍රශ්නයක් තියෙනවා.”

“ඒ අය ඒක කරන්නේ මීඩියා පබ්ලිසිටි ගන්නද, කවදා හරි නඩුවක් යන වෙලාවේදී අනෙක් පාර්ශවයට පුළුවන් ඔය පොලිස් නිලධාරීන්ට විරුද්ධව හරස් ප්‍රශ්න අහන්න.”

“අනෙක් කාරණාව තමයි අත්අඩංගුවේ ඉන්න සැකකරුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕන. මේවා පොලිස් නිලධාරින් කොහෙන් ඉගෙන ගන්නවද කියලා දන්නේ නැහැ.”

“මෙහෙම කට උත්තර ගන්න බැහැ. එයා කියන දේ අහලා ලිඛිතව අරගෙන, අත්සන් අරගෙන කරන්න ඕන. අනිත්‍ එක මීඩියා ගෙනල්ලා එහෙම දෙයක් කරද්දී සිදුකරන විමර්ශනයේ අපක්ෂපාතීත්වය ගැන ලොකු සැකයක් එනවා.” ජනාධිපති නීතිඥ සාලිය පිරිස් කියා සිටියේය.

මේ අතර ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් පවසා සිටියේ මෙම ක්‍රියාවට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි.

“මෙය පොලිසිය පැත්තෙන් ගත් විට සම්පූර්ණයෙන්ම මෝඩකමක්. අපරාධ පරීක්‍ෂණයක් කළ යුත්තේ වෘත්තීයමය ආකාරයෙන් වැරදිකරුවෙකු නීතිය හමුවට ගෙන ඒමේ අරමුණින්, නැතුව ලාභ ප්‍රසිද්ධිය ලබා ගැනීමේ අරමුණින් නොවේ. මෙවන් ආකාරයේ සජීවී “පාපොච්චාරණයක්” ප්‍රධාන මාධ්‍යයේ සහ සමාජ මාධ්‍යවල හුවමාරු වීම, නඩුවේ අවසාන ප්‍රතිඵලයට අහිතකර ලෙස බලපානු ඇත. මේ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගත යුතුයි.” ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණි.

xgdr43

ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් පවසා සිටියේ මෙම ක්‍රියාවට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි

‘මානව හිමිකම් කොමිසමෙන් පොලිසියට යැවු ලිපිය’

අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකුගෙන් පොලිසිය ප්‍රකාශ ලබා ගන්නා ආකාරය මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට මේ දක්වා පැමිණිල්ලක් ලැබී නොමැති බවත් එලෙස පැමිණිල්ලක් ලැබුණහොත් ඒ පිළිබඳව සොයා බලන බවත් එහි සභාපති නිමල් පුංචිහේවා බීබීසී සිංහල වෙත පැවසුවේය.

“තවම කවුරුවත් එහෙම දෙයක් ගැන පැමිණිලි කරලා නැහැ. පැමිණිල්ලක් ලැබුනොත් ඒ ගැන අපි සොයා බලනවා.” සභාපතිවරයා පැවසීය.

මේ අතර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු සම්බන්ධයෙන් වූ විමර්ශන තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2021 වසරේ සැප්තැම්බර් 23 වැනිදා එවකට පොලිස්පති ලෙස කටයුතු කළ සී. ඩී.වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කර තිබුණි.

“අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිලිබඳ මාධ්‍ය ප්‍රචාරණය පරිපාලනමය වශයෙන් ප්‍රශ්න සහගත වනවා මෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක්ද වන්නේය.’ යන පොලිස් දෙපාර්තමේන්තු නියෝගය කෙරෙහි අවධානය යොමු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් එමඟින් ඉල්ලා තිබුණි.

එවකට පොලිස්පති ලෙස කටයුතු කළ සි.ඩි.වික්‍රමරත්න විසින් 2022 වසරේ පෙබරවාරි මස 14 වැනිදා සියලු පොලිස් නිලධාරින් වෙත නියෝගයක් නිකුත් කරමින් උපදෙස් ලබාදී තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්ජේදයේ 13 (5) වගන්තියට අනුව සැකකරුවන්ගේ ඡායාරූප ආදිය මාධ්‍ය මගින් ප්‍රදර්ශනය වීම තුළින් මානව හිමිකම් උල්ලංඝණය විය හැකි බවට නිරීක්ෂණය වන බවය.

එමෙන්ම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම හා ඒවාට සැකකරුවන් ලබා දෙන පාපොච්චාරණ මාධ්‍ය මගින් ප්‍රචාරය වීම සිද්ධියට අදාළ නඩු කටයුතු වලට හානි දායක විය හැකියැයි ද එවකට පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබෙන උපදෙස් මාලාවේ සඳහන්ව තිබේ.

‘පොලිස්පතිගේ අවධානය යොමු වෙලා තියෙනවා’

මේ අතර අතුරුගිරිය වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගෙන් පොලිසිය ප්‍රශ්න කරන අයුරු දැක්වෙන විඩියෝ පටය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අවධානය යොමු වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

“ඒ සිදුවීම ගැන පොලිස්පතිතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා. ගන්නා ක්‍රියාමාර්ගය ගැන මට මේ වෙනකම් දැනුම් දීලා නැහැ.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

(BBC සිංහල සේවය)