‘හදිසි කොරෝනා’ ඡන්දය මරැ කැඳවයි – මංගල කියයි (VIDEO)

0
76
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් වසංගත අවදානම පහව නොමැති තත්වයක් තුළ, ආණ්ඩුවේ බල ලෝභී දේශපාලන වෙනුවෙන් හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම රටට හා ජනතාවට මරු කැඳවීමක් බවත්, එය

මාසයකට ආසන්න කාලයක් සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ මෙන්ම මුළු සමාජයක් එක්ව දැරූ කැපවීම අපතේ යැවීමක් බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

හිටපු ඇමතිවරයා එබව පවසා ඇත්තේ, අන්තර් ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමිනි.

ඔහු විසින් එම වීඩියෝව අද (අප්‍රේල් 15) පෙරවරුවේ ප්‍රකාශයට පත්කර ඇත්තේ, ඊයේ (14) දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 15 දෙනෙක් වාර්තා වී තිබීමේ අවදානම් සහගත තත්වය හමුවේය.

වසංගත තත්වය පවා නොසලකා හරිමින් කඩිමුඩියේ මහ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව දරන උත්සාහය ගැන අදහස් දක්වන මංගල සමරවීර හිටපු ඇමතිවරයා මෙසේ පවසයි.

”මේ මහ කැපවීම පරිත්‍යගය අගය කළ යුත්තේ වචනයෙන් විතරක් නෙවෙයි”

”මාසයකට ආසන්න කාලයක් තිස්සේ මේ රටේ ජනතාව, කොරෝනා වෛරසයට එරෙහිව කරන මහා සටනේදී, කැපකිරීම් රාශියක් කරලා තියෙනවා.

ඒ වගේම, මේ වෛරසයට මේ යුද්ධයට කෙලළින්ම මුහුණ දෙන, දොස්තර මහත්වරැ, ඒ වගේම සෞඛ්‍ය සේවකයින්, නර්ස්ලා, ඒ වගේම පොලීසියෙ නිළධාරීන් හමුදාවේ නිළධාරීන් සහ අනෙකුත් රජයේ නිළධාරීන්, ජිවිත පරිත්‍යගයෙන් ජීවිත කැපවීමෙන්, මහා කැපවීමක් කරලා තියෙනවා.

එතකොට මේ කැපවීම අපි අගය කළ යුත්තේ වචනයෙන් විතරක් නෙවෙයි.

අපි මැතිවරණයක් කියලා කියන්නේ, ඡන්දේ දවසේ ඡන්ද පොළට ගිහිල්ලා කතිරයක් ගහන එක විතරක් නෙවෙයි.
ඇත්ත වශයෙන්ම අපි මැතිවරණ ක්‍රියාවලිය හරහා, සති කීපයක් තිස්සේ, හැම අපේක්ෂයෙක්ම හැම පක්ෂයක්ම  ජනතාව ඒකරාශී කිරීමේ ක්‍රියාවලියේ යෙදෙන්නට ඕනේ.

ඇත්ත වශයෙන්ම ගෙයින් ගෙට යන්නට ඕනෙ, පත්‍රිකා බෙදන්නට ඕනෙ, තමන්ගෙ පක්ෂයේ ප්‍රතිපත්ති දැනුවත් කරන්නට ඕනේ, මහමැතිවරණයක් තියෙන අවස්ථාවකදී අපේක්ෂකයින් දස දහස් ගණනක් ලංකාව පුරාම තමන්ගේ මනාප අංකය පවා දැනුවත් කරන්නට ඕනේ.

ඒ විතරක් නෙවෙයි, ඡන්දෙ දවසට අපේ පාසැල් සියල්ලම වගේ මේ රටේ ඡන්ද දායකයින් ලක්ෂ ගණනකට විවෘත කරන්නට වෙනවා.

ඒ වගේම, ඡන්දෙ දැම්මට පස්සේ ඡන්ද රාත්‍රියේ ඉඳලා සමහරවිට පැය 48ක්, 72ක් දක්වා, රජයේ සේවකයින් සියලු දෙනා, ඉතා සීමිත රජයේ ගොඩනැගිලිවල ඒක රාශී වෙලා ඡන්ද ගණං කිරීමේ කටයුතුවල නියැලෙන්න වෙනවා.

අන්න ඒ නිසා තමයි අපි කියන්නේ,මේ හදිසි කොරවන කොරෝනා මැතිවරණයක් කැඳවීම, මෙතෙක් මේ රටේ ජනතාව මාසයක් තිස්සෙ කළ කැපවීම අපතේ යැවීමක්.

අහිංසක මිනිස්සුන්ගේ මලමිනී උඩින් ඡන්දයක් කරන්න සූදානම් ද ?

ඇත්ත වශයෙන්ම අහිංසක මිනිස්සුන්ගේ මලමිනී උඩින් මම නම් ඡන්දෙ කරන්නට සූදානම් නෑ. පාට පක්ෂ භේදයක් නොමැතිව, මේ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයින්ගේ හෘද සාක්ෂියෙන් ඒ ප්‍රශ්නය අහන්න ඕනෙ.

එපමණක් නොව දින රහිතව මැතිවරණ කල් දැමීමටද අපිට එකඟ විය නොහැකියි.

නමුත්, මෙවැනි තත්ත්වයක් යටතේ කොරෝනා වසංගතයෙන් 100%ක්ම අපි නිදහස් බවට මේ රටේ වෛද්‍ය විෂේශඥයින්, ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු  අනෙකුත් රටවල් පවා පිළිගන්නා තෙක් නොසිට අපි, හදිසි කෝරෝනා මැතිවරණයකට යෑම තුළින් විශාල විනාශයකට අපි පාර කපන්නට පුළුවන්.

”ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව කැඳවන්න”

කෙසේ වෙතත් , ඒ මැතිවරණය පවත්වන තුරැ රජයට, විශේෂයෙන්ම කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් තවත් මුදල්  ප්‍රතිපාදන වෙන් කරගන්නට අවශ්‍ය නම්, ඒ සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවීමටත් ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා.

ඒ නිසා ජනාධිපතිතුමා මේ වෙලාවේ, ඒ වගකීම රටේ නායකයා හැටියට භාරගෙන, පාර්ලිමේන්තුව කැඳවූ විගස,
වගකිව යුතු විපක්ෂයක් හැටියට අපි, ඒ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සඳහා සහයෝගය ලබාදෙන්නටත් සූදානම්.

නමුත් හදිසි කොරවන කොරෝනා ඡන්දයකින්,
මේ රටේ එක මිනිසෙකුගේ හෝ ජීවිතයට හානියක් නොවෙයි කියලා,
මැතිවරණ කොමසාරිස්තුමාට,
සෞඛ්‍ය අංශවලට, ඒ දොස්තර විෂේශඥයින්ට,
රජයේ වගකිවයුතු නිලධාරීන්ට පමණක් නොව මේ රටේ පවත්නා රජයට,
ජනතාවට 100%ක් සහතිකවීමට හැකි නම්,

ඒ දවසේදී අපි පාර්ලිමේන්තු මැතිවරණය කැඳවලා, අලුත් පාර්ලිමේන්තුවක් තෝරගන්නට කටයුතු කරන්නට පුලුවන්.”

වීඩියෝව

theleader.lk