හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ ප්‍රකාශයේ ප්‍රධාන කරුණු 5ක්

0
39
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (ඔක්තෝබර් 17 වන දා) විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ජනාධිපතිවරණයෙන් පසු ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

කොළඹ, මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී ඔහු මෙම විශේෂ ප්‍රකාශය සිදු කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාව 2028 වසරේ සිට යළි විදෙස් ණය ගෙවීම ආරම්භ කළ යුතු බවත්, 2027 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බවත් ය.

එම ඉලක්කයට යාම සඳහා සෑම වසරක ම 1%ක ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු බව පෙන්වා දෙමින් ඔහු ඊළඟ පාර්ලිමේන්තුවට වගකීම්වලින් පැන නොයන අත්දැකීම් සහිත කණ්ඩායමක් අවශ්‍ය බව අවධාරණය කළේ ය.

මේ, ඔහු සිදු කළ ප්‍රකාශයේ සඳහන් වුණු විශේෂ කරුණු පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

(1) – ‘බංකොලොත් බව අවසන්’

තමා ජනාධිපතිවරයා ලෙස රට භාර ගනු ලැබුවේ ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත්භාවය ප්‍රකාශ කර තිබියදී බව හිටපු ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේදී පැවසීය.

එම අවස්ථාවේ තම මූලික අරමුණ වූයේ, යළිත් ණය තිරසර බව ඇති කර පැවති බංකොලොත්භාවය ඉවත් කර ගැනීම බව ඔහු පෙන්වා දුන්නේ ය.

හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, තමා ධූරය දැරූ කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව ණය ලබා ගෙන තිබුණු රටවල් 18 සහ පෞද්ගලික බැඳුම්කරුවන් සමග සාකච්ඡා කර ගිවිසුමකට එළඹි බව ය.

“ඒ අනුව අප ණය තිරසර බව ඇති කිරීම සම්බන්ධයෙනුත් අනතුරුව අප රට බංකොලොත්භාවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙනුත් එකඟතාවයකට පැමිණියා. මේ සියලු ක්‍රමවේද අවසන් කොට පෞද්ගලික බැඳුම්කරුවන්ගේ අනුමැතිය ලැබුණේ මේ වසරේ සැප්තැම්බර් මාසයේ පළමු සතියේදී යි.

මෙලෙස අප ඇති කරගත් ක්‍රමවේදය නිසා අපට දැන් විදේශ බැංකු සමග ගනුදෙනු කරන්න පුළුවන්. එමෙන් ම විදේශ ආධාර ලැබෙනවා. අපගේ ණය තිරසර බව නිසා මේ වනවිට බංකොලොත් බව අවසන් වී තිබෙනවා,” යැයි ඔහු පැවසීය.

හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, රට බංකොලොත් බවින් මුදා ගැනීමේ කාර්යභාරය සඳහා තමා සමග කටයුතු කළ පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලු ම දෙනාට තම ස්තූතිය ප්‍රකාශ කරන බව ය.

“දැන් අපට තිබෙන්නේ එම තිරසර බව පිළිබඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමයි. වත්මන් ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කරන බවට වාර්තා වී තිබෙනවා. එසේ නම් එම සංශෝධිත ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා මේ රටේ රාජ්‍ය මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එය ක්‍රියාත්මක කිරීම අලුත් පාර්ලිමේන්තුවේ වගකීමක්. එම වැඩ කටයුතු ක්‍රියාත්මක කර තිරසර භාවය ඇතිකර ගැනීම සඳහා අපට ඉලක්ක කිහිපයක් තිබෙනවා,” ඔහු තවදුරටත් පැවසීය.

(2) – ‘මේ වසර අවසන් වන විට 2019 වසරේ තිබූ දළ දේශීය නිෂ්පාදනය යළිත් ලබාගන්න පුළුවන්’

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය විශේෂ ප්‍රකාශයේදී සඳහන් කළේ, 2028 වසරේ සිට ශ්‍රී ලංකාව යළි විදෙස් ණය ගෙවීම සිදු කළ යුතු බව ය.

ඒ සඳහා 2027 වසර වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%ක් විය යුතු බව ත් එම ඉලක්කයට යාම සඳහා සෑම වසරක ම සියයට එකක වර්ධනයක් ලබාගත යුතු බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.

ඔහු ප්‍රකාශ කළේ, “මූලික වශයෙන් මේ වසර අවසන් වන විට අපට 2019 වසරේ තිබූ දළ දේශීය නිෂ්පාදනය යළිත් ලබාගන්න පුළුවන්,” යනුවෙනි.

ඒත් සමග ම මෙරට විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීම සිදු කළ යුතු බව ත් එම විදේශ විනිමය සංචිතය සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 10-14 අතර අගයක තිබිය යුතු බව ත් ඔහු පැවසීය.

එම ඉලක්ක සපුරා ගැනීම සඳහා අප ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.

(03) – ‘ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව කිසි ම පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබෙන්නේ නැහැ’

ඉකුත් දා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව, කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ලබා ගත නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය විශේෂ ප්‍රකාශයේදී පැවසීය.

“මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව කිසිම පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබෙන්නේ නැහැ. කෙසේ හෝ නව පාර්ලිමේන්තුවේ වගකීම් ඉටු කරන්නට නම් පසුගිය ගිය පාර්ලිමේන්තුවේ ලැබූ අත්දැකීම් නතර කළ යුතුව තිබෙනවා,” ඔහු සඳහන් කළේ ය.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, පසුගිය පාර්ලිමේන්තුවේ කිසිවෙකු මෙම වගකීම භාර ගැනීමට ඉදිරිපත් නොවුණු බව ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග එම ආණ්ඩුව නිර්මාණය කර තමන් කටයුතු කළ බව ඔහු එහිදී පැවසීය.

තමා සමග ඉකුත් වසරේ දෙක පුරා කටයුතු කළ මන්ත්‍රීවරුන්ට ආර්ථික අර්බුදවලට මුහුණ දීම සඳහා පළපුරුද්ද ඇති බැවින් ඔවුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේදී අවධාරණය කළේ ය.

ඔහු සඳහන් කළේ, ඔවුන්ගෙන් කොටසක් සහ එක්සත් ජාතික පක්ෂයේ කොටසක් තම නායකත්වය යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඔස්සේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ය.

“මා සමග ඉකුත් වසර දෙකේ වැඩකටයුතු කළ අයට ආර්ථික අර්බුදවලට මුහුණ දීම සඳහා පළපුරුද්ද තිබෙන නිසා ඔවුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුම යි,” ඔහු පැවසීය.

(04) ‘අපේ පක්ෂයට ඡන්දය දෙන්න’

හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, “රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් මේ පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු යි,” යනුවෙනි.

විපක්ෂයේ සිටිය ද මෙම පළපුරුද්ද නොමැතිව පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන යා නොහැකි බව සඳහන් කළ ඔහු පෙන්වා දුන්නේ එවිට ඉලක්ක ලබා ගැනීමේදී ද අසාර්ථක වන බව ද සඳහන් කරමිනි.

“එම නිසා එක්සත් ජාතික පක්ෂයේ වැඩකටයුතු කළ අයත් අපට සහයෝගය දුන් පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන් ම නව සන්ධානයේත් අනිත් පක්ෂවල සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපගේ අපේක්ෂකයන්ට ඡන්දය ලබා දෙන ලෙස,” යැයි ඔහු ඉල්ලා සිටියේ මීට පෙර අවස්ථාවේ ඡන්දය නුදුන් ජනතාවගෙන් ද ඉල්ලීමක් කරමිනි.

(05) ‘අසාර්ථක වුණොත් නැවත පෝලිම් යුගයට’

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රකාශය අවසන් කරමින් සඳහන් කළේ, ජනතාවගේ අනාගතය නව පාර්ලිමේන්තුව මගින් තීරණය වන බව ය.

“අප සාර්ථකව මේ වැඩ කටයුතු කරනවා නම් රටක් ලෙස ගොඩ එන්න පුළුවන්. අසාර්ථක වුණොත් රට නැවත කඩා වැටෙනවා. නැවත පෝලිම් යුගයට ගමන් කරනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

 ජනාධිපතිවරණ ඉතිහාසයේ අඛණ්ඩ පරාජිතයා
වසර 42ක ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මහජන ඡන්දයකින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමට නොහැකිව වැඩි ම වාර ගණනක් පරාජයට පත්වූ එක ම ප්‍රධාන අපේක්ෂකයා බවට රනිල් වික්‍රමසිංහ ඉකුත් දා පැවති ජනාධිපතිවරණය ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඉතිහාස ගත විය.
ජනාධිපතිවරණ තුනකදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ඔහුට අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට පත් වීමට හැකි වූයේ, ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන් වූ රාජපක්ෂවරුන් මෙහෙයවූ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙනි.

ඔහු නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය 2020 වසරේදී පැවති අවසන් මහ මැතිවරණයේදී පරාජයට පත්වූ අතර, දේශපාලනිකව සෝදාපාළුවකට ලක් වූ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එක ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඔහු යළිත් පාර්ලිමේන්තුවට පිවිසියේ ය.

මහජන ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරවැසියා වීමට අවස්ථාව අහිමි වූ රනිල් වික්‍රමසිංහ 6 වරක් දෙවන පුරවැසියා, එසේත් නොමැති නම්, අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර 6 වරක් විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේ ය.

1977 එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස වයස අවුරුදු 28දී ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

(BBC සිංහල සේවය)

theleader.lk