හිමිනමකට ඩොලර් මිලියන 38,000ක්

0
100

ස්වාමීන්වහන්සේ නමකට ඩොලර් මිලියන 38,000ක් ලබා දී ඇති බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් කර තිබු එක් චෝදනාවක් එම ස්වාමීන්වහන්සේ මේ වන විටත් සනාථ කර තිබෙන බැවින් එම පුවත්පත් වාර්තාවේ අඩංගු අනෙකුත් චෝදනා බොරු යැයි සිතිය නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ මුදල් අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී නිව්යොක් ටයිම්ස් පුවත්පතේ වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

චීනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා නේදැයි මෙහිදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවුසුවේ චීනයෙන් චරිත සහතික නොගෙන මෙම චෝදනා අසත්‍ය නම් එම පුවත්පතට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට චෝදනාවන්ට ලක් වුවන්ට හැකියාව තිබෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් ඇමැතිවරයා මෙසේද කීවේය.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් එල්ල කර තිබු චෝදනා ඉතාමත් බරපතළයි. එක් පැත්තකින් එහි චෝදනා කිහිපයක් කර තිබුණා. හිටපු ජනාධිපතිතුමා මැතිවරණයට ප්‍රථම ඩොලර් මිලියන ගණනක් ගත්තා කියා චෝදනා කරන ගමන්ම තවත් ස්වාමීන්වහන්සේ නමකටත් ඩොලර් 38,000ක් දුන්නා කියාත් කියනවා. මේ වන විට ඒ ස්වාමීන්වහන්සේ ඒ කතාව සනාථ කර තිබෙනවා. උන්වහන්සේ කියලා තිබෙනවා නොදන්න චීන මහත්තයෙක් ඇවිත් ඒ සල්ලි දීලා ගියා කියලා. එතනදී නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ කිව්ව කතාවලින් එකක් දැනටමත් ස්වාමීන්වහන්සේ පිළි ගන්නවා නම් අනිත් පැත්ත බොරු කියලා හිතන්න අමාරුයි. මෙහිදී තිබෙන ප්‍රධානම දේ තමයි මට මේක වුනානම් සල්ලි බලන්නේ නැතිව මගේ කීර්තිනාමය ආරක්ෂා කර ගන්න මම නිව්යෝක් ටයිම්ස් පුවත්පතට නඩු දානවා. නඩු දාලා මගේ නම පිරිසුදු කර ගන්නවා. තවමත් මේ අය එවැනි ක්‍රියාවලියක යෙදෙයි කියලා අපට පේනන නැහැ. ඒ වෙනුවට ජී.එල් පීරිස් මහතා කියනවා ඒ පුවත්පතේ තොරතුරු ලංකාවේ ලියු පුවත්පත්වලට එරෙහිව නඩු දානවා කියලා. මේවා විහිලු කතා.

මේ වාර්තාව කිසියම් කෙනෙකුගේ අවශ්‍යතාවක් ඉටු කිරීමක් බව චීනය කියනවා. චීනය එහෙම කියද්දි නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියනවා අපි ළඟ සාක්ෂි තිබෙනවා කියා. අපි මේ වගකීම බාර ගන්නවා. මේ ගැන දැන ගන්න ඕනේ නම් අපේ ජ්‍යෙෂ්ඨ කතෘතුමා එක්ක කතා කරන්න කියත් කියනවා. මේ තරම් කියද්දි අපි චීනයෙන් චරිත සහතික අරගෙන ගැලවෙන්න බලන්නේ නැතිව අපි කෙලින්ම චෝදනාව කළ පුවත්පතට එරෙහිව කටයුතු කළ යුතුයි. ඇත්ත වශයෙන්ම අපේ රාජ්‍ය නායකයන් විවිධ රටවලින් පගා ගන්න ගියොත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න ඇති වෙනවා.

මේ බැඳුම්කර සිද්ධිය මේ යුගයේ ඇති වු ප්‍රධානම වංචාව කියන එක පිළි ගන්නේ නැහැ. ඒ වගේම සිද්ධි තිබෙනවා හිටපු මහ බැංකු අධිපති කරපු හොරකම් ඊට වඩා වැඩියි. මං ඒක වගකීමෙන් කියනවා. රජය ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ අපේ ජනාධිපතිතුමා පත් කරපු කොමිසමේ තොරතුරු ඒකරාශී කරගෙන පවතින රජයටම යළිත් වතාවක් ගහන්න හදනවා නම් ඒක කමක් නැහැ.