හෙට දවස වෙනුවෙන් බුද්ධිමත් තීරණයක්

0
103

299
මහ මැතිවරණයක් අත ළග තබා ගෙන මෙවැන්නක් ලියන්නට සිතූ යේ එහි ඇති වටිනාකම නිසාම ය. දියුණු දේශපාලන ක්‍රමයක් දියුණු සමාජ ක්‍රමයක් පවතින රටවල මැතිවරණයක දී අප අත්දකින වෙනසක් අප රටේ පවතින දේශපාලන මැතිවරණයක ක‍්‍රියාකලාපයේ පවතින වෙනසත් තුලනාත්මක ව හදුනාගත යුතු ම ය.

 එදා – මෙදා  ශ්‍රී ලාංකීය දේශපාලන මැතිවරණ ඉතිහාසය දෙස බැලූ විට එහි වූ මැතිවරණ පොරොන්දු තුළින්ම මා අදහස් කරන්නා වූ වෙනස් වීමේ මූලය හදුනා ගත හැකි ය.
සංචාරක කුරුල්ලන් මෙන් මැතිවරණ සමය ළංවන බව හගවමින් තැන්තැන්වල, කඩවීදි ගානේ තහඩු, උදලූ තල, පරිප්පු, බත් පැකට් ආදී අනේකවිධ පාට පාට සීනි බෝල බෙදමින් සිටිනා ඡන්ද අපේක්ෂයන් දැකිය හැකි ය. එලෙස බත් පිගානකට, පරිප්පු ඇටයකට, උදලූ තලයකට ජනතා පරමාධිපත්‍ය බලය පාවා දිය යුතු ද? ලොව විශාලතම ප්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය ලෙස සැළකෙන ඉන්දියාව තුළ ද මෙම තත්ත්වය අඩු – වැඩි ලෙස  දැකිය හැක.
ජනවාරි 08 සිදු වූ මෙරට දේශපාලන පරිවර්තනයත් සමග යම් මට්ටමක සාධනීය ලක්ෂණ කරළියට පැමිණ ඇත . එනම් අදවන විට වෙනදා මෙන් තැන තැන බඩු බෙදමින් ඡන්ද මංකොල්ල කන්නන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ වී තිබීමයි. එලෙස ජනතාවට ඡන්ද ඉලක්ක කරගනිමින් දෙන අල්ලස් ක්‍රමය මුලිනුපුටා දැමිය යුතුය. එදා වේල අමාරුවෙන් ගැට ගසා ගන්නා අහිංසක මිනිසුන්ගේ බත් පතේ හාල්මැස්සාගේ පටන් ගෙවන බදු මුදල්වලින් වැටුප් ලබන දේශපාලකයින් ඒ මුදලට වටිනාකමක් දෙනවා දැයි සිතා බැලිය යුතු ය. තැන් තැන්වල අපට මැතිවරණ ඉලක්ක කර ගෙන අල්ලස් බෙදන්නේ අපේම බදු මුදලින් ගත් ඒවා ය.
ක්‍රි.පූ. 4 – 3 සියවස්වල ග‍්‍රීසියේ සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වූ ආකාරය අපට දැකිය හැකි ය.
සරලව දක්වතොත් එහි දී සිදු වූයේ සමස්ත නාගරික රාජ්‍යයේ පුරවැසියන් එක් ස්ථානයකට රැස් වී තම අවශ්‍යතා, අභිමතය ප්‍රකාශ කර එය ඉටු කරවා ගැනීමේ ක්‍රමවේදයකි. එහෙත් අදවන විට ක්‍රමයෙන් ජනගහනය පුඵල් වීමත් සමග ජනතාව; නියෝජිතයින් පත් කර ගන්නා වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයකට මාරු විය. ඒ අනුව ඔවුන් කළ යුත්තේ මහජනතාවගේ මතය නියෝජනය කිරීම ය. රටට කුඩු – එතනෝල් ගෙන්වන, කාන්තාවන් දූෂණය කර ඒවා සමරන නායකයන් සැබෑ නියෝජිතයන් ද? ඔවුන් නියෝජනය කරන මහජන මතය කුමක් ද? නැවත සිතා බැලිය යුතු ය.
 “With great power, comes a great responsibility”   යන කියමනෙන් වැඳගත් පණිවිඩයක් ගෙන එයි යමෙකු ජන නායකයෙකු ලෙස ඉදිරියට එයි ද, ඔහුට මහජන ආශිර්වාදයෙන් බලයක් ලැබෙන්නේ සුරසැප විදින්නට නොවෙයි , ඒ මහජනතාව නියෝජනය කිරීමට ය. ජනතාවට සේවය කිරීමට ය. අසරණ මිනිසුන්ගේ කදුලට සිනා පොදක් එක් කිරීමට ය.
දේශපාලනය තුළ බොහෝ යහපත් මිනිසුන් සිටී නමුත් ඒ කිරි මුට්ටියට එක් ගොම බින්දුවක් එක් වුවහොත් දොවා ගත් කළය ම අපතේ යයි. දේශපාලනයේ පවතින, පැවතිය හැකි ගොම බින්දු හදුනාගැනීම සිහිබුද්ධියෙන් සිටින පුරවැසියන් සතු වගකීමකි. මන්දයත් හෙට දින අපගේත් ඊටත් වැඩියෙන් අප දරුවන්ගේත් අනාගතය තීරණය වන්නේ අද අප භාවිතා කරන කතිරය මත නිසා ය.
මහ මැතිවරණයක් පැවැත්වෙන කාලය යනු මහා ශ්‍රමදාන කාලයකි. අපගේ ගම – නගරය නියෝජනය කරමින් තේරී සිටියවුන් අතරින් වල් පැල උදුරා දමා නැවත පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ කාලයකි. ජනහිත හදුනන සැබෑ නායකයන් ඉදිරියට ගන්නා කාලයකි. ඒ සඳහා විප්ලව කිරීමට හෝ මහපාරේ උද්ඝෝෂණ කිරීමට අවශ්‍ය නැත. කළ යුත්තේ තම වටිනා කතිරයට බුද්ධිමත් තේරීමක් කිරීම පමණි.
ශනිත් මිරැන්ඩෝ