හොරු ඇල්ලීමේ දේශපාලන ව්‍යාපෘතියේ ගමනක අවසානය! -සුදර්ශන ගුණවර්ධන

0
178

basi nimalමේ වසර ආරම්භයේදී රජය විසින් ආරම්භ කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය (Constitutional Assembly) ලෙස රැස්වන පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරුන්ගේ කමිටුවක් (Commitee of the Full House) තුළට සීමා වී ඇති සෙයක් පෙනෙයි. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් ලබාගැනීමේ කමිටුව සිය වාර්තාව ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් සමාජය තුළ ඇති විය යුතු අත්‍යවශ්‍ය විවාදය සඳහා ආණ්ඩුව විසින් බර තබනු දක්නට නොලැබීම සාම්ප්‍රදායික සිවිල් සමාජයේ මහත් කණස්සල්ලට හේතු වී ඇති සෙයකි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ප්‍රජාතාන්ත්‍රවාදය සහතික වන පියවර ගැනීමේත්, බලය විමධ්‍යගත කිරීමේ දේශපාලන විසඳුමක් මත පදනම්ව ජාතික ප්‍රශ්නය විසඳා යුද්ධය නිමා කිරීමේත් පොරොන්දුවෙන් 1994 දී බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩුව විසින් දියත් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ වැඩපිළිවෙළ සහ ඒ හා සමගාමී ‘සුදු නෙළුම් සාම සංග්‍රාමය’ පිළිබඳ මිහිරි මතකයක සිටින සිවිල් සමාජය බලාපොරොත්තු වන්නේ ආණ්ඩුව විසින් මෙවරත් එවැනිම දැවැන්ත මහජන උද්ඝෝෂණ වැඩපිළිවෙළක් සිවිල් සමාජයේද දායකත්වය ඇතිව පවත්වනු ඇතැයි කියාය. එහෙත් එවන් වැඩපිළිවෙළක් නොමැති වීමෙන් සිවිල් සමාජය තුළ ඉච්ඡා භංගත්වයක් ඇති වෙයි.

1994 පොදු පෙරමුණු ආණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ජනමත විචාරණයක් මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අරමුණෙන් කළ උන්නතිකමී ව්‍යාපෘතියකි. පාර්ලිමේන්තුව තුළ තමන්ට තිබුණේ එක වැඩි ඡන්දයක බහුතරයක් පමණක් වුවද, බලතල නිර්මධ්‍යගත කිරීමේ අරමුණ පෙරදැරි කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ 2/3ක වැඩි ඡන්දයෙන් සම්මත කොට ගෙන ඉන් පසුව ජනතාව වෙතින් ජනමත විචාරණයකදීද සම්මත කරගත හැකි වෙතැයි ආණ්ඩුවත්, සිවිල් සමාජයත් විශ්වාස කළ සෙයකි. කෙසේ වුවද අවසානයේ වසර හයක් ගිය තැන, තම විරුද්ධවාදීන් විසින් පට බඳිනු ලැබූ ‘පැකේජය’ යන නමින් ගර්හිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කුණු කූඩයට ගියේ පාර්ලිමේන්තුව තුළ පවා සම්මත කර ගැනීමට අසමත් වෙමිනි. එදා සුදු නෙළුම් ව්‍යාපාරය වැන්නක් මෙදාද අවශ්‍යයැයි යෝජනා කරන්නන් අමතක කරන්නේ ලොකු සද්දයක් දමා ගෙන ගිය සුදු නෙළුම් ව්‍යාපාරයේ අවසන් ප්‍රතිඵලය ශූන්‍යයක් බවයි.

1994 ආණ්ඩුව වනාහි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ සහ සිවිල් සමාජය අතර වූ සභාගයකි. පසුව මුස්ලිම් කොංග්‍රසයද එකතු ව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු එයට කඳුකරයේ තොණ්ඩමාන් (ජ්‍යෙෂ්ඨ) මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ලැබුණි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ආණ්ඩුවට පිටත සිට සහයෝගය දුන්නාය. ජ වි පෙ ට තිබුණේ එක් පාර්ලිමේන්තු ආසනයක් පමණක් වන අතර එයද ජනාධිපතිවරණයේදී ආණ්ඩුවට සහය දුන්නේය. ආණ්ඩුවට ගේම තිබුණේ වසර දාහතක පාලනයෙන් පසුව පිරිහී, නායකයන් අහිමිව ගොස්, බෙදී වෙන් වී සිටි එක්සත් ජාතික පක්ෂය සමග පමණි. දෙකට බෙදුණු පක්ෂයේ පාර්හ්වයන් දෙකටම නායකත්වය දුන් ප්‍රධාන නායකයන් ව සිටි ජනාධිපති ප්‍රේමදාස, ලලිත් ඇතුළත්මුදලි, ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක ඇතුළු සියළු දෙනාම එල් ටී ටී ඊ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබිණි.

ආණ්ඩුවේ උපාය වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අළුතෙන් පත්වූ සහ මන්ත්‍රීවරුන් අතර පුළුල් පදනමක් නොතිබුණු තරුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂයට පහර දෙමින් එක්සත් ජාතික පාක්ෂිකයා සහ ‘මධ්‍යස්ථ’ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ පැත්තට නම්මා ගැනීමත්, සාකච්ඡා ක්‍රියාමාර්ගයෙන් ඉවත්ව යුද්ධයට බට එල් ටී ටී ඊ යට පහර දෙමින් ඔවුන් කෙරෙහි පීඩනයක් ඇති කර සාමාන්‍ය දෙමළ ජනයා සහ සාමාන්‍ය එල් ටී ටී ඊ හිතවාදීන් ආණ්ඩුව පැත්තට දිනා ගැනීමත් ලෙස ගණන් තැබිය හැකිය. කෙසේ වුවද වසර හයක් තුළ සියළු සැලසුම් ආපිට කැරකුණේය.

වසර විස්සකට පසු 2014 එළැඹෙන විට තත්ත්වය වෙනස් ව ඇත. මේ වන විට එල් ටී ටී ඊ ය මිලිටරිමය වශයෙන් පරාජය කොට ඇති බැවින් දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර තනි දෙමළ නියෝජනය බවට පත් ව තිබිණි. බල පෙරළියක් සඳහා ඔවුන් විශ්වාසය තබා තිබුණේ එක්සත් ජාතික පක්ෂ නායකයා කෙරෙහි නොව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග කෙරෙහිය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ ඇයට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙසය. ඇය ඒ වෙනුවට යෝජනා කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමය. එම යෝජනාවට අනෙකුත් සුළු ජාතික පක්ෂ නායකයන්ද එකඟ වූ අතර, එක්සත් ජාතික පක්ෂයද අවසානයේ ඒ සඳහා කැමැති විය. පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේම පුළුල් සන්ධානයක නියෝජිතයෙකු වශයෙනි.

එබැවින් මේ අවස්ථාවේදී රාජ්‍යය ප්‍රජාතාන්ත්‍රීයකරණය සහ ජාතික සංහිඳියාව ඇතුළු ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සඳහා සියළු පක්ෂයන්හි මූලික එකඟතාවයක් තිබේ. 19 වන සංශෝධනය සම්මත කරගැනීමේදී ප්‍රදර්ශනය වූයේද, වර්තමානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය තුළ නිරූපණය වන්නේද එම සම්මුතියයි. පක්ෂ වලට බලපෑම් එල්ල කර ඔවුන් මේ න්‍යාය පත්‍රය සඳහා නම්මවා ගැනීම සඳහා දැවැන්ත මහජන උද්ඝෝෂණයක් ගෙන යාමට ආණ්ඩුවට අවශ්‍ය නොවන්නේ එවන් සම්මුතියක් පවතින බැවිනි.

ජාතික සංහිඳියාව සහ සංවර්ධනය ඉලක්ක කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට සියළු දේශපාලන පක්ෂ නායකයන් අඩු වැඩි වශයෙන් සූදානම් බව පෙනේ. ගැටලුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානයේය. එම සන්ධානයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරෙන් අර්ධයක් පමණ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අතර, සෙසු අර්ධය නියෝජනය කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දරන ඒකාබද්ධ විපක්ෂයයි. මෙම කණ්ඩායම් දෙක අතරින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායකත්වයට එරෙහිව දූෂණ වංචා සහ බලාතික්‍රමණය පිළිබඳව චෝදනා කරමින් නඩු පවරා, දඬුවම් කොට පීඩනයට ලක් කොට, එමගින් සෙසු මන්ත්‍රීවරුන් සහ පොදු පාක්ෂිකයන් ආණ්ඩුවට සම්බන්ධ වූ කණ්ඩායම හෙවත් නිල ශ්‍රී ල නි පය හා සම්බන්ධ කිරීමට අපේක්ෂා කළද වසර දෙකක් යනතුරුත් එම උපක්‍රමය සාර්ථක වී නැත. මේ අතර, දූෂණ වංචා චෝදනා ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්‍රී ල නි ප මැති ඇමතිවරුන්ටද එල්ල වීම සහ ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීම ආරම්භ වීම නිසා එම කණ්ඩායාම තුළද අසහනකාරී තත්ත්වයක් ඇති වී ඇති බව ජනාධිපතිවරයාගේ ‘පදනම් ආයතන’ දේශනයෙන් පෙනේ. ඔහු කියන්නේ නීතියක් පිරිසකට පමණක් ක්‍රියාත්මක කළ නොහැකි බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරීක්ෂණය කරන්නේ තමන් විසින්ම මුල්වී ඇතිකරන ලද ‘ස්වාධීන කොමිසන් සභා’ ඇතුළු ස්වධීන ආයතන විසින් ආණ්ඩුවෙන් එළියේ ඊනියා ඒකාබද්ධ විපක්ෂයෙහි සිට ගත් මන්ත්‍රීවරුන්ට සහ ආධාරකාර නිලධර තන්ත්‍රයට පමණක් නොව ‘සම්මුතිවාදී යහපාලන’ ආණ්ඩුවට එක් වී සිටින මන්ත්‍රීවරුන්ට සහ නිලධරයන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවයි. එහිදී එම ආයතනවල නිලධරයන් ස්වාධීනත්වයක් භුක්ති විඳින බැවින් ජනාධිපතිවරයාගෙන් ඒ සඳහා අනුමැතියක් ලබා ගන්නේද නැත. තම පාක්ෂිකයන් අතර පවතින ජනප්‍රිය කැමැත්තට පිටු පා ජනාධිපති සිරිසේන මහතාගේ පාර්ශ්වය සමග එක්ව සිටින ශ්‍රී ල නි ප ඇමැතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳවද ඔව්හු අසතුටෙන් පසුවෙති.

ජනාධිපතිවරයාගේ වචනයෙන්ම කිවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට අවශ්‍ය 2/3 බලය ගැනීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඒකාබද්ධ උපාය මාර්ගික පරමාර්ථයයි. හොරු ඇල්ලීම හෙවත් දූෂණ විරෝධය එම සැලැස්මට ආධාරකයක් ලෙස ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරිණි. නමුත් දැන් සිදුව ඇති බව පෙනෙන්නේ දූෂණ විරෝධී මෙහෙයුම නම් උපක්‍රමික වැඩපිළිවෙළ දේශපාලන සංවේදීභාවයකින් තොර ඊනියා ‘ස්වාධීන නිලධාරීන්’ විසින් ඉදිරියට ගෙන යාම මගින් ආණ්ඩුවේ පුළුල් උපාය මාර්ගික සැලසුමට ප්‍රතිරෝධයක් ලෙස ක්‍රියාත්මක වන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහය ජනාධිපතිවරයා වෙත සහ පොදුවේ ආණ්ඩුව වෙත රඳවා ගැනීම සහතික කරගැනීම උදෙසා දූෂණ විරෝධී සටනට විරාමයක් ලැබීමට නියමිත බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගැනීම මගින් හැඟවුම් වී තිබෙයි.
www.samabima.com

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here